රසායනික පොහොරවලින් ඉවත්වීම ආහාර අර්බුදයකට හේතුවක් බව කෘෂිකර්ම විශේෂඥයන් පවසද්දී ඊට එරෙහිව යමින් කාබනික පොහොර වගාව ප්‍රචලිත කිරීමේ නිරතව වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියෝ අද (19) පාර්ලිමේන්තුවේ දී ජනතාවට කන්න නැතැයි ද ඒ නිසා වගා සංග්‍රාමයක් ඇරඹිය යුතුයැයි ද කීහ.
මන්ත්‍රී හිමියන් මේ බව කියා සිටියේ වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන් අසන ප්‍රශ්න සඳහා අවස්ථාව ලබාදුන් විට කතානාකවරයාගේ ද විරෝධය නොතමිනි.
රතන හිමි එම අවස්ථාවේ දී කියා සිටියේ තමන් ද නොදැන කිසියම් පිරිසක් විසින් රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර භාවිතයට රට ගෙන ගිය බවයි.
එහි දී වැඩිදුරටත් මෙසේ ද කීහ.
“මිනිස්සු ආහාර නැතිව දුක් විදිනවා. ජනතාව එකතු වෙලා වගා නොකළොත් ඛේදවාචකයක් ඇති වෙනවා. අපේ රටේ හැම බිම් අඟලකම ඇතිතරම් වතුර තියෙනවා. ඒ නිසා අපි වගා සංග්‍රාමයකට යා යුතුයි. කාබනික පොහොර භාවිතා කරන්න තීරණයක් ගත්තා කියලා අපි දැනගෙන හිටියේ නෑ. අපි වස විසෙන් තොර ගොවිතැනකට අරගල කළා තමයි. නමුත් අපිට ඒකට කිසිම ඉඩක් දුන්නේ නෑ. ඒ වටිනා සංකල්පය කාබාසිනියා කළා. ක්ෂණිකව පොහොර ගේන්න ඕනෑ. නැත්නම් පොහොර හදන්න ආයතන 200ක් විතර ආරම්භ කරන්න ඕනෑ. පොහොරත් නෑ කන්නත් නෑ තත්වයට රට පත්වෙන්න පුළුවන්.”


