ඡන්ද දායකයන්ට අල්ලස් දීමේ සිද්ධියකට අධිකරණයෙන් වරදකරු වීමෙන් සිය ධූරය අහිමි වූ මොණරාගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයකු විසින් එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබූ ඇපෑලක් ඊයේ (07) විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබිණි.
2018 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ දී එම අපේකෂකයා විසින් අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ මූලිකත්වයෙන් හා සහායෙන් මේ මුල් නඩුව ගොනුකර තිබිණි.
එම නඩුව විභාගයට ගත් මොණරාගල පූර්වගාමී මහාධිකරණ විනිසුරු රංග දිසානායක මදුරුකැටිය කොට්ඨාසය ජයග්‍රහණය කර තිබූ තරංග හර්ෂක දිසානායකගේ ධූරය අත්හිටුවා පරාජිත අපේක්ෂකයා වූ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඩබ්ලිව්. එම්. සුනිල් ශාන්තට ධූරය පිරිනැමීමට නියෝග කළේය.
තරංග හර්ෂක දිසානායක තම නීතිඥන් මාර්ගයෙන්, එම අධිකරණ නියෝගය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබිණි.
ඊයේ (07) වගඋත්තරකාර පෙත්සම්කරුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ එම ඇපෑල ඉදිරියට පවත්වාගෙන නොයන බවයි. ඒ අනුව එය විභාගයට නොගෙනම ඉවත් කෙරිණි.


