බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත්කරන ලද බිලියනපති ව්‍යාපාරික ධම්මික පෙරේරාට එරෙහිව නඩු මගට පිවිසෙන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.
ඔහු මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර දැනටමත් ගනිමින් සිටින බවත් ඒ සඳහා හිටපු කතානායක කරු ජයසූරිය සහ ඩිව් ගුණසේකර සමඟ ද සාකච්ඡා කළ බවත් මීමැස්සෝ යූ ටියුබ් නාලිකාවේ දී මාධ්‍යවේදී කල්ප ගුණරත්න සමඟ කීවේය.
නීතිඥ නාගනාන්ද පවසන්නේ ධම්මික පෙරේරා සිය ව්‍යාපාර භාවිතා කරමින් බදු වංචාවක් කර ඇති බවයි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට නුසුදුස්සකු බැවින් අධිකරණය ඒ බවට කරුණු වාර්තාකරන බව ද හෙතෙම කීවේය. ඔහු පත්කිරීමෙන් ජනතා පරමාධිපත්‍ය බලය දැඩි අභියෝගයකට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි. ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරන බව නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරීමට යම් කිසි කෙනෙකු සුදුසුකම් ලබන ආකාරය සහ නුසුදුසු වන ආකාරය දැක්වෙන්නේ 91 වැනි ව්‍යවස්ථාවේය.
එම ව්‍යවස්ථාවේ (ඉ) වගන්තිය මේ කාරණයට සෘජුව ම අදාළ වෙයි. එහි මෙසේ දැක්වෙයි.
“ රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තා වූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්‍තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ නුසුදුසුකමක් යැයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේ ද, එවැනි ගිවිසුමකට ඒ ආකාරයේ සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිලමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.”
ඉහත දක්වා ඇති 91 (ඉ) වගන්තිය ප්‍රකාරව ධම්මික පෙරේරා ව්‍යාපාරිකයකු වශයෙන් රජය හෝ රාජ්‍ය සංස්ථාවක් සමඟ ගිවිසුමකට එළැඹ තිබේදැයි අප දන්නේ නැත නමුත් ඔහු එසේ ගිවිසුමකට එළැඹ තිබුණ ද ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයට නුසුදුස්සකු කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින් ම පමණි. එබැවින් මේ වගන්තිය අනුව ද ධම්මික පෙරේරා ව්‍යාපාරිකයකු වශයෙන් රජය සමඟ හෝ රාජ්‍ය සංස්ථාවක් සමඟ හෝ කවර ආකාරයේ ව්‍යාපාරික ගිවිසුමකට එළැඹ සිටිය ද පාර්ලිමේන්තුව විසින් ම ඔහු මන්ත්‍රීවරයකු වීමට නුසුදුසු යැයි තීරණය කරන තුරු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවෙයි.
මේ අනුව පැහැදිළි වන්නේ ඔහුට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට බාධාවක් නොමැති බවයි.
ධම්මික පෙරේරාට මන්ත්‍රී ධූරයක් දැරීමට හැකියාවක් නැතැයි කියන පාර්ශවයන්ගේ එක් තර්කයක් වන්නේ ජාතික ලැයිස්තුවේ නොසිටි අයකු ජාතික ලැයිස්තුවෙන් පත්කිරීමට හැකියාවක් නැතැයි යන්නයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ලැයිස්තුව පිළිබඳ සඳහන් කොටසේ මුලින් සඳහන් වූයේ මහ මැතිවරණයට පෙර ඒ ඒ දේශපාලන පක්ෂ විසින් තම ජාතික ලැයිස්තුව සකස්කර මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ජාතික පුවත්පත් තුනක හෝ අවම වශයේන ප්‍රසිද්ධියට පත්කළ යුතු බවයි. ඉන් පසු එම ලේඛනයෙන් පමණක් මන්ත්‍රීවරු ලෙස පත්කිරීමට ඒ ඒ පක්ෂවලට අවස්ථාව ලැබෙයි.
නමුත්, 14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම වගන්ති ද වෙනස් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයෙන් පසු 99 (අ) වගන්තිය අනුව මහ මැතිවරණයක දී ප්‍රසිද්ධියට පත්කරනු ලබන ජාතික ලැයිස්තුවෙන් පිටත පුද්ගලයකු ඕනෑම වේලාවක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකට පත්කර යැවීමට දේශපාලන පක්ෂවලට අවකාශ හිමිව ඇත.
ඒ අනුව, ධම්මික පෙරේරාට ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමේ බාධාවක් නැත.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මීමැස්සෝ යූ ටියුබ් නාලිකාව සමඟ පවසන ආකාරයට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නම් සිදුවන දේ කුමක් ද යන්න අධිකරණයේ දී තීරණය වනු ඇත.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු කියන සම්පූර්ණ කතාව පහළින්


