24.7 C
Galle

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන බව නව සභාපති කියයි

Published:

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදුව බව එම සමාගමේ නව සභාපති මුදිත පීරිස් අද (15) සිය තනතුරේ රාජකාරී ආරම්භ කරමින් මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ඔහු පවසන්නේ දැනට රුපියල් 4,860.00ක මුදලකට අළෙවි වන ගෑස් සිලින්ඩරය මිල ඉහළ දැමීම සඳහා දැනටමත් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇති බවයි.

අප rata.lk වෙබ් අඩවිය මිගින් පසුගිය දා හෙළිකරන ලද ආකාරයට රජයේ ලිට්‍රෝ සමාගමට ගෑස් ලබාගන්නේ වෙළෙඳ පොළ මිලට වඩා වැඩි මිලට බව ද සභාපතිවරයා එම අවස්ථාවේ දී පිළිගත්තේය.

ශ්‍රී ලංකාවට ගෑස් සපයන එම සමාගම ක්‍රියාත්මක වන්නේ මෙරට සුප්‍රසිද්ධ ආගමික නායකයකුගේ සහ පිල්මාරු කරන දේශපාලකයකුගේ මෙහෙයවීමෙනි.  එම ලිපිය මෙතැනින්.

නව සභාපතිවරයා කියා සිටියේ මේ වනවිට ගෑස් නෞකාවක් ගෑස් ගොඩබෑම ආරම්භ කර ඇතත් එහි ඇත්තේ ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් වැනි සුළු ප්‍රමාණයක් බවයි. මෙරට මාසික ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 30,000කි.

සිංගප්පූරු සමාගමක් ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම සදහා මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 112ක් ඉල්ලා තිබුණු බවත් නමුත් ඉදිරියේ දී ගෑස් සැපයීම සඳහා අදාල සැපයුම් කොන්ත්‍රාත්තුව හිමිව ඇති සමාගම ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 129ක් අයකරන බවත් අද ප්‍රකාශ කෙරිණි.

ඒ කරුණ සාධාරණීකරණය කරමින් සභාපතිවරයා කියා සිටියේ මිල ගණන් කැඳවන අවස්ථාවේ තායිලන්ත සමාගම අඩු මිලට සපයන්නට පොරොන්දු වුණේ මෙට්‍රික් ටොන් 6,000ක් පමණයි බවයි. නමුත් දැනට කොන්ත්‍රාත්තුව ලබාදීමට නියම කර ඇති සමාගම මාස 04කට ම ප්‍රමාණවත් ගෑස් සැපයීමට එකඟ වූ බව ද ඔවුන් ප්‍රධාන නැව මාලදිවයින්වල නවතා නැව්වලින් ශ්‍රී ලංකාවට ගෑස් ගෙනඒමට සැළසුම් කර ඇති බව ද සභාපතිවරයා කියා සිටියේය. වැඩි කාලයක් ගෑස් ලබාදීමට එකඟ වූ සමාගමේ ගෑස් මිල අධික වුව ද ඔවුන්ගෙන් ලබාගන්නා බව සභාපතිවරයා කියයි.

මේ සමාගම් කිසිවක් ගෑස් නිෂ්පාදනය කරන සමාගම් නොවේ. ඔවුන් සියල්ලෝම ගෑස් වෙළෙඳ පොළෙහි අතරමැදි සමාගම්ය. රජයට සෘජුව ගෑස් නිෂ්පාදන සමාගම්වලින් ගෑස් මිල දී ගැනීමට හැකියාව තිබිය දී අත යට ගනුදෙනුවල අවශ්‍යතා නිසා අතරමැදියන්ගෙන් ගෑස් මිල දී ගැනීම සිදුකරයි.

අපට වාර්තාවන පරිදි ගෑස් සැපයීමට එකඟ වී ඇති සමාගම සතුව නැව් කිසිවක් නැත. එබැවින් ඔවුන් කරන්නේ විශාල ප්‍රමාණයේ නැවක සිට කුලී පදනම මත ලබාගන්නා වෙනත් කුඩා නැව් යොදාගෙන ගෑස් කොළඹ වරායට ගෙන ඒමයි.

සභාපතිවරයා පවසන්නේ අධික මිලට හෝ ගෑස් ලබාගැනීමට සිදුවන බවයි.

Related articles

error: Content is protected !!