කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සංචිතයේ ඇති කිසිම රථයකට ඉන්ධන නොමැති බව එහි සේවකයෝ කියති.
හදිසි රෝගියකු ගෙනඒමට හෝ වෙනත් රෝහලකට මාරුකර යැවීමට ඇති ගිලන්රථ 15 ම මේ වනවිට තෙල් නොමැතිවීම නිසා ගාල්කර තිබේ. ඒ අතර ඖෂධ ප්‍රවාහනය කරනු ලබන ලොරි 02ක් ද ඩීසල් නොමැතිව නතරකර දමා ඇත. රෝහලේ විවිධ අවශ්‍යතා සඳහා ධාවනය කරනු ලබන කැබ් රථ 04ක් සහ පෙට්‍රල්වලින් ධාවන යවන වෑන් රථයක් ද මෙලෙස නතරකර දමා තිබේ.
අත්‍යාවශ්‍ය සේවා රථවලට පමණක් ඉන්ධන ලබාදෙන බව පැවසුව ද ඉන්ධන පිරවුම්හල් වෙත ගිය විට පොලිසියත්, හමුදාවත් බලා සිටිය දී එහිි සිටින වෙනත් පුද්ගලයන් විසින් සෞඛ්‍ය අත්‍යාවශ්‍යයැයි කියා අපිට තෙල් නොගෙන ඉන්න බෑ කියා හරවා යවන බව රෝහල් සේවකයෝ කියති.
මේ වනවිට කිසිදු හදිසි අවශ්‍යතාවකට ප්‍රයෝජන ගැනීමට හැකි මට්ටමේ රථයක් රෝහල සතුව නැත.
මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ දැනට තෙල් නොමැති දැඩි අර්බුදයක් ඇති බවයි. මේ හේතුවෙන් තෙල් ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.


