ගාල්ල කොටු පවුරමත රජයට විරෝධය දක්වමින් අද (30) පැවැත්වූ උද්ඝෝෂණයට පැමිණි නිල ඇඳුම් ඇඳි ආයුධ සන්නද්ධ නිලධාරීන් පිරිසක් එහි සිිටි විරෝධතා කරුවන්ට පහර දී පන්නා දැමීමට තැත්කළ බවත්, විිරෝධතා පුවරු උදුරාගත් බවටත් චෝදනාවක් එල්ල වී තිබේ.
මේ මොහොත වනවිට ගාල්ලේ නීතිඥයන් කණ්ඩායමක් සමඟ උද්ඝෝෂකයන් පිරිසක් ගාල්ල මූලස්ථාන පොලිසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිටියි.
ඊයේ (29) දිනයේ දී ද ගාල්ල කොටු පවුරමත Go Home Gota යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරන ලද තරුණයන් කිහිප දෙනකු හමුදාව විසින් එළවා දමා තිබිණි. එලෙස ක්‍රියා කිරීමෙන් හමුදාව මෙරට සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල විය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය යුද හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ද දැනුම්වත් කර තිබූ අතර, එමගින් ඔවුන් යුද හමුදාපතිවරයාට දැනුම් දී තිබුණේ එවැනි අනීතක ක්‍රියා නොකරන්න යැයි යුද හමුදාවට උපදෙස් දෙන ලෙසයි. එමෙන් ම සාමකාමී උද්ඝෝසණ පැවැත්වීම හෝ තව අදහස් ප්‍රකාශ කරමින් විරෝධය දැක්වීම සියලු පුරවැසියන්ගේ අයිතියක් වන බැවින් එවැනි උද්ඝෝෂකයන් පළවාහැරීම නොව ඔවුන්ට ආරක්ෂාව දීම පොලිසියේ සහ හමුදාවේ වගකීම බව ද නීතිඥ සංගමය ලිඛිතව හමුදාපතිවරයාටත්, පොලිසියටත් දැනුම් දී තිබේ.
එසේ දන්වා තිබිය දී යුද හමුදාව අද දිනයේ දී සිවිල් පුරවැසියන්ගේ කටයුතුවලට බාධා කරමින් තමන්ට අයත් නැති රාජකාරී ඉටුකරමින් සාමාන්‍ය වැසියන්ට පහරදීමට තැත්කිරීම සහ ඔවුන්ගේ පුවරු උදුරා ගැනීම ගාල්ලේ නීතිඥවරු තරයේ හෙලා දකිති.
අද (30) උදෑසන විරෝධතා කරුවන් පිරිසක් රජයට විරෝධය දක්වන පුවරු රැගෙන කොටු පවුරමතට යාමට උත්සාහ ගැනීමේ දී හමුදා නිලධාරීන් කිහිප දෙනකු එය වැළැක්වුව ද එම විරෝධය නොතකා ඔවුහු කොටු පවුර මතට ගියහ. එම අවස්ථාවේ යුද හමුදා නිලධාරීන් 15ක පමණ කණ්ඩායමක් ආයුධ සන්නද්ධව එතැනට පැමිණ විරෝධතා කරුවන්ට බැන වදිමින් තල්ලුකර දැමීමට උත්සාහ ගත්ත ද එම විරෝධතා කරුවන් අතර ගාල්ලේ නීතිඥයන් 06 දෙනකු ද සිටින බව ඔවුන් දැන සිටියේ නැත.
මේ අවස්ථාවේ දී නීතිඥයන් යුද හමුදාව විසින් සිදුකරන වරද පෙන්වා දුන්න ද හමුදාව ඔවුන් අත තිබූ පුවරු ද උදුරා ගත්තේ ය. එම අවස්ථාවේ දී මේ ස්ථානයට පැමිණි ගාල්ල කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේ රජයට විරුද්ධව පුවරු ප්‍රදර්ශනය කිරීමෙන් රටට අපකීර්තියක් අත්වන බැවින් එසේ නොකරන ලෙසයි.
යුද හමුදාව සහ පොලිසිය සාමකාමී උද්ඝෝෂණකයන්ට පහර දීමට උත්සාහ ගනිමින් ඔවුන් අත ඇති විරෝධතා පුවරු උදුරාගනිමින් මෙරට මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් අහිමිකරීම රටට දැඩි අපකීර්තියක් බවත් රටේ ජනතාව රජයට එරෙහි උද්ඝෝෂණ මාලාවක් පවත්වාගෙන යන බව ජාත්‍යන්තරය හොඳින්ම දන්නා කරුණක් බවත් නීතිඥ අජිත් කුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පෙන්වා දුන්නේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිසියේ සහ හමුදාවේ කාර්යභාරය වන්නේ සාමකාමී උද්ඝෝෂකයන්ට ආරක්ෂාව ලබාදීම බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල නීතිඥ සංගමයේ නීතිඥවරු පිරිසක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකරමින් නීතියට පිටින් ජනතාවට එරෙහිව කටයුතු කරන හමුදාවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ද එම නීතිඥවරු කියති.


