ජනාධිපතිවරයා ලබන 13 වැනි දා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයා දැනුම් දෙයි.
අද (09) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරවලින් ඉවත්විය යුතු බවයි.
පක්ෂ නායකයන් කියා සිටියේ පැය 24ක් ඉක්මයාමට මත්තෙන් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව වුව ද ඔහු පවසන්නේ 13 වැනි දා සිය ධූරයෙන් සමුගන්නා බවයි.
13 වැනි දා යනු ලබන බදාදා දිනයයි.
මේ වනවිට කොළඹ නගරය වටකරගෙන සිටින අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිල නිවස සහ අගමැති නිල නිවස අත්පත් කරගෙන සිටින අතර කිසියම් පිරිසක් විසින් අගමැතිවරයාගේ පුද්ගලික නිවසට ගිනිතබා තිබේ.
ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වනතුරු අරගලය නොනවත්වන බවයි.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළ කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියේ සාමකාමීව පාලනය බාරදීම කළ යුතු බැවින් එය 13 වැනි දා සිදුකරන බවයි. එතෙක් කිසිදු කලබලයක් නොමැතිව ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටින ලෙස ද කතානායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙම කටයුතු සාමාකමීව සහ සාර්ථකව අවසන් කරනතුරු රටේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස ද කතානයකවරයා රටේ ජනතාවගෙන් සහ රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.


