සිරස News1st මාධ්‍යවේදීන්ට කරන ලද පහරදීම හෙළා දකින බවත් එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
අද ((09) සවස සිය මාධ්‍ය රාජකාරී කටයුතුවල යෙදී සිටිය දී මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට සහ ඔවුන් මුදාගැනීමට පැමිණි තවත් දෙදෙනකුට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පහර දීමේ සිදුවීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිකුළෙන්යුතුව හෙළා දකින බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
මෙවැනි අවස්ථාවක ජනතාව වෙත තොරතුරු සන්නිවේදනය කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට අනුකූල කර්තව්‍යයකි. එම නිසා පහර දීමට ගොදුරු වූ මාධ්‍යවේදීන් ස්වකීය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලැබීමට භාජනය වී ඇති බව ද එම නිවේදනයේන පෙන්වා දී තිබේ
පහර දීමට භාජනය වූ අවස්ථාවේ අදාළ මාධ්‍යවේදීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) අ සහ 14(1) උ වගන්තිවලින් දැක්වෙන මූලික අයිතීන්වල ආවරණය ලබමින් සිටි බව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාවේ දැක්වෙන වධහිංසාවට, කෲර හෝ අමානුෂික හෝ අවමන් සහගත සැළකිල්ලකට, දඬුවමකට යටත් නොකළ යුත්තේ ය යනුවෙන් දැක්වෙන මූලික අයිතිවාසිකමට හිමිකම ලබමින් සිටි බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.
එසේම, ශ්‍රී ලංකාව වධහිංසාවලට එරෙහි වීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තබා 1994 අංක 22 දරන පනතෙන් එය අපරානුමත කොට ඇත. සිය වාර්තාකරණයේ නිරත වෙමින් සිටි මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහර දුන් පොලිස් හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම පනත අනුව ද වරදකරුවන් විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය යි.
එම නිසා මෙම කෲර පහර දීමට හා වධහිංසාවට වග කිව යුතු නිලධාරීන් නීතිය හමුවට පැමිණ වීම පොලිස්පතිවරයාගේ රාජකාරි වගකීම වන අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කොමිසම ද, මානව හිමිකම් කොමිසම ද මැදිහත් විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කරයි.



