ජනාධිපති ධූරයට අපේක්ෂකයන් සිව් දෙනකු මේ වනවිට සූදානමින් සිටින බවත් අගමැතිධූරය සඳහා මන්ත්‍රීවරු තිදෙනකු ද සටන් බිමට පිවිස ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දැන් ස්වාධීන කණඩායමේ සාමාජික ඩලස් අලහප්පෙරුම සහ සමග ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන 04 දෙනා මෙලෙස තරඟ වදින බව දැනන්නට ඇත.
ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී තමන් වෙනුවෙන් ඡන්දය ලබාදෙන මන්ත්‍රී කණ්ඩායම් දිනා ගැනීමට එම සිව්දෙනා ම මේ වනවිට විවිධ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඔවුන් වෙනුවෙන් තවත් විශාල පිරිසක් ද එම මෙහෙයුමේ නිරතව සිටිති.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහයෝය ලබාදෙන බව එහි ලේකම් සාගර කාරියවසම් නිල නිවේදනයක් නිකුත් කළ ද ඊයේ සවස එම පක්ෂහේ සභාපති අමාත්‍ය ජී.එල්.පීරිස් පවසා සිටියේ තම පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ඩලස් අලහප්පෙරුම ජනාධිපතිධූරයට ඉදිරිපත් වන්නේ නම් පක්ෂයේ සහය ඔහුට ලබා දෙන බවයි.
එසේ වුව ද රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු ම මේ වනවිට සිය මෙහෙයුම් දියත් කර තිබේ. එමෙන් ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල් වික්‍රමසිංහට ලබා ගැනීම සඳහා පසුගිය දා ආණ්ඩුවට එක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ද දැඩි වෙහෙසක් ගනිති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දෙමින් සාකච්ඡා කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමේ වැදගත් කම සහ අවශ්‍යතාව පිළිබඳ පැහැදිළි කරන බව ද දැනගන්නට ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම කළ යුතුයැයි එම පක්ෂයේ යෝජනා ස්ථිරවූ අතර එම යෝජනාව ස්ථිර කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැන් තවත් තරඟකරුවකු බවට පත්ව සිටියි.
කෙසේ වෙවතත් සමගි ජන බලවේගයේ ප්‍රබලයන් රැසක් විපක්ෂ නායකවරයාට සහාය ලබාගැනීමේ කටයුතු සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඔවුන්ගේ ප්‍රබල ඉලක්කයක් වී ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපා හිටපු අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය ලබාගැනීමයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා වට කිහිපයක් ම පවත්වා තිබේ
මේ අතර,ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට වෙන්ව කටයුතුකරන කණ්ඩායමේ මන්ත්‍රීවරු පිරිසක් විසින් සිදු කරනු ලබන අතර, හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ද ඩලස් අලහප්පෙරුමට සහාය දීමේ සූදානමක සිටින බව ද පැවසේ.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද දැන් පාර්ශව තුනකට වෙන්ව ඇති බවයි. එහි කිහිප දෙනකු රනිල් වික්‍රමසිංහටත්, තවත් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුමට සහ තවත් පිරිසක් සජිත් ප්‍රේමදාසටත් සහය දෙන බවක් වාර්තා වේ.
පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ ඉතා සමීපව කටයුතු කළ බැවින් ඔහුගේ සහාය විපක්ෂ නායකවරයාට හිමිවනු ඇතැයි බොහෝ දෙනකුගේ විශ්වාසය වී තිබේ.
මේ අතර, ජනාධිපතිවරයා කවරකු වුව ද ඉදිරියට පිහිටුවනු ඇතැයි අපේක්ෂා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහාද,මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය සුදුසුකම් ඉදිරිපත් කරමින් සිටින බව දැනගන්නට ඇත.
සභානායක දිනේෂ් ගුණවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන යන තිදෙනා ම ඒ සඳහා සිය සුදුසුකම් පෙන්වන බව වාර්තා වේ.
ඔවුන් සුදුසුකම් පෙන්නුව ද රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම සහ සරත් ෆොන්සේකා යන සිව් දෙනාගෙන් කවුරුන් ජනාධිපති වුව ද ඉතිරි තිදෙනා ද අගමැති ධූරය අපෙක්ෂාවෙන් පොරපිටියට පිවිසෙනු ඇතැයි අපෙක්ෂා කළ හැකිය.


