25.8 C
Galle

ෆොන්සේකා අරගලකරුවන්ට කළ ආන්දෝලනාත්මක ආරාධනය

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) කරන ලද ප්‍රකාශය ආන්දෝලනාත්මක සහ නොකිව යුතු කතාවක් යැයි දේශපාලන විචාරකයෝ කියති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටේ භෞමික අඛණ්ඩතාව සහ සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින මන්ත්‍රීවරයකු ඒ සියල්ල අභියෝගයට ලක්කරමින් ප්‍රකාශ නිකුත් කිරීම ගැටලුවක් බව ද ඔවුහු පෙන්වා දෙති.

සරත් ෆොන්සේකා ඊයේ හදිසි නීතිය පිළිබඳ විවාදයට එක්වෙමින් කියා සිටියේ මුළු රටම එකතු කරගනෙ ලබන අගොස්තු 09 වැනි දා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරාගන්න කියා අරගලයේ දරුවන්ගෙන් තමන් ඉල්ලීමක් කරන බවයි.

වෙනත් අරමුණු වෙනුවෙන් නොබෙදී එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.

ආණ්ඩුව අරගලකරුවන් තුවක්කු බලයෙන් මර්ධනය කිරීමට උත්සාහ ගනිිමන් සිටින බැවින් ඊට කිසිම ආකාරයකින් මැදිහත් නොවන්න යැයි තමන් පොලිසිය සහ හමුදාවේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් සරත් ෆොන්සේකා පැවසුවේය. දූෂිත පාලකයන් සිටින තුරු රටට මුදල් එවීමෙන් වළකින ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද අරගලකරුවන්ට තමා සෑමවිටම ආශිර්වාද කරන බව ද කීවේය.

විවිධ අවස්ථාවල දී වටිනා දේවල් විනාශ වී ඇතැයි ඇතැම් අය කීව ද අරගලකරුවන් කැප වී සිටින්නේ එවැනි විනාශ වූ දේට වඩා වැඩි දෙයක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ලබාදීමේ උතුම් අරමුණින් බව කවුරුත් සිහිතබා ගත යුතු යැයි ද සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී කීවේය.

Related articles

error: Content is protected !!