27.2 C
Galle

පාසල් ඔන්චිල්ලාවක් නිසා සිසුවකුට දිවි අහිමි වෙයි

Published:

පාසලේ ඔන්චිල්ලාවෙන් වැටී එයට ම හිර වූ සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව විල්ලෝරාවත්ත ඥානිස්සර බෞද්ධ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි ජයවර්ධනගේ චමෝද් දුලන්ජය විජේසේකර නම් සිසුවෙකි. ඔහු පහළ ඉඳිබැද්ද පදිංචි පවුලක දරුවෙකි.

පාසලේ යකඩින් සෑදූ ඔන්චිල්ලාවක් ඇති අතර එහි එකවර 04 දෙනකුට පැදිය හැකි ආකාරයෙන් සකසා ඇත. එහි සිසුන් 05කට වැඩි පිරිසක් විනෝද වෙමින් පදිමින් සිටින අවස්ථාවේ මේ සිසුවා ද දුවගෙන විත් එහි එල්ලුණු බව එතැන සිටි අනෙක් සිසුවෝ කියති. එම අවස්ථාවේ ඔන්චිල්ලාවේ වේගයෙන් පැද්දී ගොස් මියගිය සිසුවා විසිවී බිම ඇද වැටී ඇති අතර ඉහළට ගමන්ගත් ඔන්චිල්ලාව යළි වේගයෙන් පහළට පැමිණෙද්දී ඔහුගේ හිසෙහි වේගයෙන් වැදී පොළොවත් ඔන්චිල්ලාවේ යකඩ තහඩුත් අතර ඔහුගේ හිස සිරවී ඇත.

ඒ අවස්ථාවේ දී ම ඔහුගේ මුඛයෙන් සහ නාසයෙන් රුධිරය වහනය වී ඇති අතර ලුනාව ප්‍රාදේශීය රෝහලට එම සිසුවා ඇතුළත් කළ ද සුළු වේලාවකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!