33 C
Galle

ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය

Published:

මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසාත්, නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සහ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO) එක්ව නව බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව විවාහ උත්සව, පෞද්ගලික සාද, හෝටල්, වාණිජමය සංදර්ශන සහ ප්‍රවාහන සේවා වැනි ස්ථානවල සිංහල, දෙමළ සහ හින්දි ගීත වාදනය කිරීමේදී රුපියල් 20,000 සිට 125,000 දක්වා මුදලක් බලපත්‍ර ගාස්තු ලෙස ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත් විය. කෙසේ වෙතත්, මෙම තීරණයත් සමඟ ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවයන් අතර මෙන්ම සමාජය තුළ ද දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය ව.

විශේෂයෙන්ම විවාහ උත්සව සහ සාමාන්‍ය පෞද්ගලික සාදවලදී පවා ගීත වාදනය කිරීම වෙනුවෙන් මෙලෙස විශාල මුදලක් අය කිරීමට යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි විවේචන එල්ල විය. ප්‍රසංග සංවිධායකයන්, හෝටල් හිමියන්ගේ සංගම් මෙන්ම DJ ශිල්පීන් ද පෙන්වා දුන්නේ මෙවැනි ප්‍රායෝගික නොවන ක්‍රමවේදයන් හේතුවෙන් සමස්ත ක්ෂේත්‍රයම අපහසුතාවයට පත්වන බවයි.

එමෙන්ම මෙය රජය විසින් අලුතින් පටවන ලද බද්දක් ලෙස ද සමාජය තුළ වැරදි මතයක් පැතිර ගියේය. නමුත් සැබවින්ම මෙය රජයේ බද්දක් නොව, නිර්මාණකරුවන්ගේ බුද්ධිමය දේපළ අයිතිය වෙනුවෙන් එකතු කිරීමට යෝජනා වූ පෞද්ගලික හිමිකම් ගාස්තුවකි.

ජනතාව අතරින් නැගුණු දැඩි විරෝධයත් සමඟ වහාම ක්‍රියාත්මක වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා රජය වෙනුවෙන් විශේෂ පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ සාමාන්‍ය පෞද්ගලික උත්සව, විවාහ මංගල්‍යයන් සහ DJ සංදර්ශන සඳහා කිසිදු බලපත්‍ර ගාස්තුවක් අය නොකරන බවයි. අදාළ කතෘ භාග අය කර ගැනීම් සැබවින්ම බලපැවැත්වෙන්නේ ප්‍රවේශ පත්‍ර අලෙවි කර මුදල් උපයන වාණිජමය මට්ටමේ මහා පරිමාණ ප්‍රසංග සහ ප්‍රසිද්ධ සංදර්ශන සඳහා පමණි. ඒ අනුව අදාළ සංගීත කතෘ භාග අය කිරීමේ බලපත්‍ර ක්‍රමවේදයේ පැවති ගැටලුසහගත තැන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.

මෙම අර්බුදයට පදනම් වූ නීතිමය පසුබිම පරික්ෂා කිරීමේදී, ලංකාව තුළ ගීත සහ සංගීත නිර්මාණවල අයිතිය ආරක්ෂා කෙරෙන්නේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මගිනි. එම පනතට අනුව ගීතයක පද රචකයාට, තනුව නිර්මාණය කළ සංගීතවේදියාට සහ එහි ප්‍රකාශකයාට අදාළ නිර්මාණය පිළිබඳ පූර්ණ ආර්ථිකමය සහ සදාචාරාත්මක අයිතිය හිමි වේ. නිර්මාණකරුවෙකුගේ ජීවිත කාලය පුරාම සහ ඔහුගේ මරණයෙන් පසු වසර 70ක් යන තෙක් මෙම ප්‍රකාශන අයිතිය වලංගු වන අතර, වාණිජමය අවශ්‍යතා සඳහා එම නිර්මාණ භාවිත කරන්නේ නම් ඒ සඳහා කතෘ භාග ගෙවීම නීතිමය වශයෙන් අනිවාර්ය වේ.

ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ලියාපදිංචි වී ඇති ACPOSL ආයතනය යනු මෙම කතෘ භාග එකතු කර නිර්මාණකරුවන්ට ලබාදෙන නිල සාමූහික කළමනාකරණ සංවිධානයයි.

මෙරට බොහෝ දෙනෙකු ගීතයක පූර්ණ අයිතිය පවතින්නේ එය ගායනා කරන ගායකයාට යැයි සිතා සිටියද, නීතිමය වශයෙන් එහි සැබෑ අයිතිය හිමිවන්නේ පද රචකයාට සහ තනු නිර්මාණකරුවාටය. ප්‍රසංග සහ විවිධ මාර්ග හරහා ගායකයන් විශාල වශයෙන් මුදල් උපයද්දී, ගීතය නිර්මාණය කළ සැබෑ නිර්මාණකරුවන් ආර්ථික වශයෙන් අසරණ වී සිටීම මෙම නීති රීති තදින් ක්‍රියාත්මක කිරීමට ප්‍රධානතම හේතුවක් විය. ශ්‍රී ලංකාවේ මෙම නිර්මාණකරුවන්ට සාපේක්ෂව ලැබෙන ඇගයීම සහ හිමිකම් අවම මට්ටමක පවතින අතර, ACPOSL ආයතනය ජාත්‍යන්තර CISAC සංවිධානය සහ ඉන්දියානු IPRS ආයතනය සමඟ බැඳී සිටින බැවින්, මෙම ක්‍රමය නිසි ලෙස සකස් වූ විට විදේශයන්හිදී ලාංකේය ගීත වාදනය වන විට අපගේ නිර්මාණකරුවන්ට ද විදේශීය මුදලින් කතෘ භාග ලැබීමේ මඟ පෑදේ.

නව ගැසට් නිවේදනයට අනුව බලපත්‍ර ගාස්තු ව්‍යුහය සකසා තිබුණේ සංගීතය භාවිත කරන ස්ථානය, අරමුණ සහ සහභාගී වන ජනතාවගේ ප්‍රමාණය පදනම් කරගෙනයි. වාණිජ ප්‍රසංග සඳහා පැමිණෙන පිරිස සහ ටිකට්පත් ආදායම මත රුපියල් 20,000 සිට 125,000 දක්වා ගාස්තු ද, හෝටල්, ව්‍යාපාරික ස්ථාන සහ පොදු ප්‍රවාහන සේවා සඳහා උත්සව ශාලාවේ වර්ග අඩි ප්‍රමාණය සහ ශබ්ද විකාශන භාවිතය අනුව වාර්ෂික ස්ථාවර ගාස්තු ද තීරණය කර තිබුණි. මෙහිදී විශේෂම කරුණ වන්නේ බලපත්‍ර ලබාගැනීමේ සහ ගාස්තු ගෙවීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ උත්සව සංවිධායකයන්ට හෝ අදාළ ස්ථාන හිමියන්ට මිස ගීත ගයන ගායකයන්ට හෝ සංගීත කණ්ඩායම්වලට නොවීමයි. එමෙන්ම මෙම බලපත්‍ර ක්‍රමය අදාළ වන්නේ දේශීය සිංහල ගීත සහ ජාත්‍යන්තර ගිවිසුම් යටතේ ඇති දෙමළ හා හින්දි ගීත සඳහා පමණි.

ගොඩනැගුණු මතභේදාත්මක තත්ත්වයට ස්ථිර විසඳුමක් ලෙස, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය දොස්තර නලින්ද ජයතිස්ස මහතා ඇතුළු විෂයභාර අමාත්‍යවරුන් සහ ACPOSL නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව, පවතින බුද්ධිමය දේපළ නීති යාවත්කාලීන කිරීමට සහ ප්‍රායෝගික විසඳුම් සෙවීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. ඉදිරි මාස තුන ඇතුළත ක්ෂේත්‍රයේ සියලු පාර්ශවයන්ට සාධාරණ වන පරිදි නව නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කමිටුවට නියමිතය.

පසුගිය ජූනි සහ සැප්තැම්බර් මාසවලදී නව බලපත්‍ර ක්‍රමය ගැසට් කිරීමත් සමඟ ඇරඹුණු මෙම ක්‍රියාවලිය, සැප්තැම්බර් මැද භාගයේදී මතුවූ ජනතා විරෝධය හමුවේ අදාළ සංගම් සමඟ පැවැති සාකච්ඡාවලින් පසු තාවකාලිකව සංශෝධනය විය. වර්තමානය වන විට රජය පැහැදිලි ලෙසම තහවුරු කර ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ විවාහ උත්සව හෝ පෞද්ගලික සංදර්ශන සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා සභා රැස්වීමෙන් සහ විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව, නිර්මාණකරුවාගේ අයිතියත් සුරකිමින් සාමාන්‍ය ජනතාවට සහ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට සාධාරණ වන පරිදි මෙම කතෘ භාග ක්‍රමවේදයේ අවසන් තීරණය ගැනීමට නියමිතය.

අමල්ෂි ගමගේ විසිනි

Related articles

spot_img
error: Content is protected !!