27.9 C
Galle

පොලිසියට පහර දී පළාගිය තිදෙනකු අත්අඩංගුවට

Published:

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට පහර දුන් බව කියන තිදෙනකු ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25, 29 සහ 30 පසුවන වත්තල මාබෝල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල හන්දිය අසළ දී ඇළකන්ද මාර්ගයේ සිට කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට ත්‍රී රෝද රථයකින් පිවිසි පිරිසක් පොලිසිය විසින් නතර කර තිබේ. ඔවුන් පැමිණ ඇත්තේ ද කෑ කෝ ගසමිනි. එතැන සිටි පොලිස් නිලධාරීන් දෙදනකු රථය පරීක්ෂා කිරීමට උත්සාහ ගනිද්දී රියදුරා සහ පිටුපස සිටි දෙදෙනා ම අධික බීමතින් සිටින බව පෙනී ගිය බැවින් රියදුරා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ බව පොලිසිය පවසයි. ඒ අවස්ථාවේ දී අදාළ පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී පළාගොස් ඇත.

සැකකරුවන් පහරදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

සැකකරුවන් අද (26) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!