ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය සහ ඒ හා තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වන පාලනයකින් තොර ස්ත්‍රී දූෂණ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.
කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම පිළිබඳව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා බලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපනය කළේය. මෙය නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙන්ම පොදු පරිපාලනයේ බරපතළ අසාර්ථකත්වයක් බව විනිසුරුවරුන් පෙන්වා දුන්හ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජේ.බී. පාර්දිවාලා (JB Pardiwala) සහ කේ. විනෝද් චන්ද්‍රන් (K Vinod Chandran) යන මහත්වරුන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් ආලෝකකරණයක් නොමැතිකම, කැමරා නිරීක්ෂණ (Surveillance) මන්දගාමී වීම හෝ මූලික පහසුකම් නොමැතිකම වැනි හේතු නිසා මහජන උද්‍යාන සහ බස් රථ වැනි පොදු ස්ථාන කාන්තාවන්ට “අධි අවදානම්” කලාප බවට පත්වීමට ඉඩ තැබිය නොහැකි බවයි.
කිසිදු පාර්ශවයකින් පෙත්සමක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් නොවූවද, මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ස්වයංක්‍රීයවම (Suo motu cognisance) මෙම නඩුව විභාගයට ගැනීමට තීරණය කර ඇත.
“නවදිල්ලි අගනුවර කලාපයෙන් (Delhi NCR) වාර්තා වන මෙවැනි ලිංගික අපරාධ, පොදු මහජන ආරක්ෂාව තහවුරු කිරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ රාජ්‍ය පරිපාලන බලධාරීන් අසාර්ථක වී ඇති බව මනාව පැහැදිලි කරයි,” යනුවෙන් විනිසුරුවරුන් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගයට දින කිහිපයකට පෙර, කාන්තාවන්ට එරෙහි හිංසනයට එරෙහිව සහ සුරක්ෂිත පොදු අවකාශයන් ඉල්ලා නවදෙල්ලි විශ්වවිද්‍යාලයේ (Delhi University) සිසුන් සිය ගණනක් වීදි බැස දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
දෙල්ලි නුවර මහජන උද්‍යානයක් තුළදී නව යොවුන් වියේ පසුවන තරුණියක සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධියත් සමඟ මෙම විරෝධතා ආරම්භ විය. කාන්තාවන්ගේ ගමනාගමනය සහ නිදහස සීමා කරනවා වෙනුවට, අපරාධ සිදුවීමට බලපාන අඳුරු වීදි සහ පහසුකම් නැති පොදු ස්ථාන සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස සිසුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. වීදි ආලෝක පද්ධති විධිමත් කිරීම, පොදු ප්‍රවාහන පහසුකම් නැංවීම සහ පොලිස් ආරක්ෂාව තර කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර විය. “ජමුයි සිට කල්කාජි දක්වා, රාත්‍රියට ආලෝකය නැති වීදිවල බියෙන් ගමන් කළ කාන්තාවන් අපි. අපට ආරක්ෂාව මුවාවෙන් අපගේ නිදහස සීමා කිරීම නතර කරන්න,” යනුවෙන් සිසුන්ගේ ප්‍රකාශයක සඳහන් විය.
පසුගිය අගෝස්තු මාසයේදී ග්‍රේටර් නොයිඩා (Greater Noida) ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් බස් රථයක් තුළදී රියැදුරු සහ සහායකයා අතින් දූෂණයට ලක්වූ බවට වාර්තා විය.
එමෙන්ම, පංජාබ් ප්‍රදේශයේ ‘ලව්ලි ප්‍රොෆෙෂනල්’ (Lovely Professional University) විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී සිසුවියක දූෂණයට ලක්වූ බවට පැතිර ගිය ආරංචියක් සමඟ සිසුන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. පසුව පන්ති සහ විභාග තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගත්තේය.
සිද්ධීන් මාලාවත් සමඟ දිල්ලි මහ ඇමැතිනී රේඛා ගුප්තා (Rekha Gupta) පිළිගත්තේ ආරක්ෂක අංශවල යම් යම් පමාදයන් සිදුව ඇති බවයි. බියෙන් තොරව ජීවත්වීමට හැකි පරිදි ආරක්ෂක යටිතල පහසුකම් වහාම ශක්තිමත් කරන බවට ඇය පොරොන්දු වූවාය. දිල්ලි පොලිසියද ප්‍රකාශ කර සිටියේ සංවේදී සහ අවදානම් සහිත ප්‍රදේශවල ආරක්ෂාව සහ සංචාරක මුර සංචාර ඉහළ නංවා ඇති බවයි.
ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ (NCRB) දත්තවලට අනුව, ඉන්දියාවෙන් දිනකට ස්ත්‍රී දූෂණ සිදුවීම් 80 කට වඩා වාර්තා වේ.



