30.8 C
Galle

ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!

Published:

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි (Flydubai) සමාගමට අයත් FZ1073 දරන ගුවන් යානය තුළ, ගුවනේදී සිදුවූ අභිරහස් සහ බිහිසුණු සිදුවීම් මාලාවකින් පසු සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්වා තිබේ.

සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේ සිදුවූ මෙම සිදුවීමත් සමඟ මැද පෙරදිග කලාපයේ ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳ නැවතත් දැඩි අවධානයක් යොමු වී ඇත.

මගීන් 150කට වැඩි පිරිසක් රැගෙන ගිය මෙම යානය ඊශ්‍රායලය දෙසට ළඟාවෙමින් තිබියදී, එකවරම නියමු කුටිය (Cockpit) තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබේ. ගුවන් ගමන් දත්ත සටහන්වලට අනුව, අඩි 34,000ක පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබූ යානය අඩි 16,000 දක්වා ඉතා වේගයෙන් පහළට කඩා වැටෙන ස්වරූපයෙන් බැස ඇත.

එම අවස්ථාවේදීම යානයෙන් සාමාන්‍ය හදිසි අවස්ථා සංඥාවකට අමතරව, ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමක් හෝ පැහැරගැනීමක් (Hijack) පෙන්නුම් කරන විශේෂ හදිසි සංඥාවක්ද නිකුත් වී තිබීම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, නියමු කුටියෙන් එකවරම කෑගැසීම් සහ ගෝෂා ඇසීමත් සමඟ ගුවන් යානයේ සිටි මගීන් කිහිපදෙනකු එහි ඇතුළුවීමට උත්සාහ කර තිබේ. එහිදී එක් නියමුවකු වෙත පිහියක් රැගත් පුද්ගලයකු විසින් පහරදී ඇති බවත්, මගීන් මැදිහත්වී එම පුද්ගලයා පාලනය කර නියමු කුටියෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඇතැම් මගීන් උපුටා දක්වමින් වාර්තා පළවේ.

ගුවනේදී සිදුවූ මෙම දැඩි අවදානම් තත්ත්වය හමුවේ යානය වහාම සෞදි අරාබිය දෙසට හරවා ඇති අතර, අවසානයේ සෞදියේ ටබුක් (Tabuk) ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වන ලදී.

ගොඩබැස්වීමෙන් අනතුරුව ටබුක් ගුවන් තොටුපළ බලධාරීන් තහවුරු කළේ, යානයේ කපිතාන්වරයා සහ සහායක නියමුවා (Co-pilot) යන දෙදෙනාම තුවාල ලබා සිටි බැවින් වහාම රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි. යානයේ සිටි සියලුම මගීන් ආරක්ෂිතව පසුවන බව ෆ්ලයිඩුබායි සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

පැහැරගැනීමක්ද? ත්‍රස්ත ප්‍රහාරයක්ද?

මෙම සිදුවීම මුලින් ගුවන් යානා පැහැරගැනීමේ උත්සාහයක් ලෙස සැක කෙරුණද, ඊශ්‍රායල අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පසුව සඳහන් කළේ මෙය යානා පැහැරගැනීමක් බවට විශ්වාස නොකරන බවයි. කෙසේ වෙතත්, මෙය හිතාමතා ගුවන් යානය අනතුරට පත් කිරීමට කළ උත්සාහයක් හෝ ත්‍රස්ත ප්‍රහාරයක පෙරහුරුවක් විය හැකිද යන්න පිළිබඳව ඊශ්‍රායල නිලධාරීන් සැක පළකර ඇති අතර, ඒ පිළිබඳ රොයිටර් පුවත් සේවයද වාර්තා කර තිබිණි.

සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ඊශ්‍රායලය සිය ගුවන් ආරක්ෂක පද්ධති සීරුවෙන් තබා ගුවන් හමුදා යානා කිහිපයක්ද අහසට යැවීමට පියවර ගත්තේය. සෞදි අරාබියේ රැඳී සිටින මගීන් නැවත ඊශ්‍රායලයට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් පවතින බව ඊශ්‍රායල අගමැති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

නියමුවන් දෙදෙනා අතර ඇතිවූ ගැටුමට සැබෑ හේතුව කුමක්ද, නියමු කුටියට පිහියක් ආවේ කෙසේද සහ මෙය කුමන්ත්‍රණයක කොටසක්ද යන්න පිළිබඳව දැනට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වේ.

Related articles

spot_img
error: Content is protected !!