31.1 C
Galle

අනෙක් සැකකරුවන් නිදහස් වෙද්දී වසර 11ක් උසාවි ආවා යැයි විත්තිකරුවකු හඬා වැටෙමින් කී කතාව

Published:

විශ්‍රාමික නීතිපතිවරයකුට මුදල් ගෙවා සේවය ලබා නොගැනීමේ වරදට තමන් අවුරුදු 11ක් නොකඩවා උසාවි පැමිණෙන බවත්, නොකළ වරදකට රැකියාව පවා අහිමි වී ඇති බවත් ගුවන්තොටුපොළ සේවා නිලධාරියකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිට හඬා වැළපෙමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මකවන ආකාරය නිසා තමන්ට සිදු වූ මේ අසාධාරණය ලෝකයේ වෙනත් කිසිවෙකුට සිදු නොවේවා යැයි ප්‍රාර්ථනා කරන බව ද හෙතෙම මහේස්ත්‍රාත්වරයා හමුවේ විත්තිවාචකය ඉදිරිපත් කරමින්කීවේය.

මෙලෙස කරුණු දැක්වූයේ තාරක මිහනාථ නමැති අයෙකි.

2011 අගොස්ත්ු මස 10 වැනි දින කටයුනායක ගුවන්තොටුපොළේ දී  පුද්ගලයකුට නීති විරෝධීව විදේශගත වීමට ආධාර අනුබල දීමේ චෝදනාවට තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ ඔහු චෝදනා ලබා තිබිණි. ඔහු කියා සිටියේ තමන් සමඟ චෝදනා ලද අනෙක් විත්තිකරුවන් තිදෙනා නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය හිටපු නීතිපපතිවරයෙක් නීතිඥයා ලෙස තෝරාගත් බවයි. එම අවස්ථාවේ තම පියා සතුව ඔහුට ගාස්තු ගෙවීමට මුදල් නොතිබූ බැවින් තමන්ට ඔහුගේ සේවය ලබාගැනීමට නොහැකි වූ බව ද ඔහු විත්ති කූඩුවේ සිටිමින් කීවේය.

“අවුරුදු 11ක් නොකළ වරදකට මම මේ උසාවියට ආවා. මේ සිද්ධිය නිසා මට රැකියාවත් අහිමි වුණා. මම එදා දව‍සේ ඉතාලි යන්න ආපු කිසිම කෙනෙකුට බෝඩිං පාස් නිකුත් කළේ නෑ. මට සිදු වූ මේ අසාධාරණය ලෝකයේ කිසිම අයෙකුට අත්නොවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. මේ නඩුවේ සියලු සාක්ෂි සළකා බලා යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.” යැයි ඔහු කියා සිටියේය.

විත්තිකරුගේ විත්ති වාචකය අනුව බලවත් අසාධාරණයක් වී ඇති බව විත්තියේ නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කරමීන් කීවේය.

නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටි රජයේ නීතිඥවරයා ද කරුණු දක්වමින් පවතින කරුණුවලට අනුව සුදුසු තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුවේ තීන්දුව පෙබරවාරි 23 වැනි දින ලබාදෙන බවට පවසමින් නඩුව කල් තැබුවේය.

Related articles

error: Content is protected !!