27.5 C
Galle

නෙළුවේ දී දරුවෙක් අතුරුදන්, සොයාගැනීමට උදව් අවශ්‍යයි

Published:

නෙළුව ප්‍රදේශයේ දී තුන් හැවිරිදි පිරිමි දරුවකු ඊයේ (15) අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙසෙ අතුරුදන්ව ඇත්තේ මතුගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සේවය කරන ශාන්ති නමැති නිලධාරිනියකගේ දරුවෙකි.

ඇය තම ගම් ප්‍රදේශය වන නෙළුව ප්‍රදේශයට ගොස් සිටිය දී මෙම දරුවා අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ඊයේ (15) දහවල් පවුලේ අය නිවස ආසන්නයේ ඇති දොළක දිය නෑමට ගොස් ඇති අතර මෙම දරුවා තරමක සෙමවැඩිවීමේ තත්වයකින් සිටි බැවින් ඔහු රැගෙන ගොස් නැත. නිවැසියන් ආපසු පැමිණි පසුව ද දරුවා නිවසේ සිට ඇති අතර සවස ඔහු බෝතලයක් රැගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරතවෙමින් සිටි බව ‍නිවැසියන්  පවසයි. ටික වේලාවකින් දරුවා දක්නට නොවූයෙන් ඔවුන් ඒ ගැන විපරම් කිරීමේ දී මාර්ගයේ ගිය අයකු පවසා ඇත්තේ දරුවා පාර අයිනේ බෝතලයක් අතේ තියාගෙන සිටිනු දුටු බවයි. නිවසේ සිට මාර්ගයට දුර මීටර 20ක් පමණ ‍වෙයි.

ඊයේ සවස සහ රාත්‍රී කාලයේ නිවැසියන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහ ‍පොලිසිය එක්ව ප්‍රදේශය පුරා සහ දොළ පාර දිගේ ද දරුවා සොයා ඇතත් අද (16) උදෑසන දක්වා ම කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

නෙළුව ප්‍රදේශය සංචාරක ආකර්ශනය අධික ප්‍රදේශයක් බැවින් මෙම ප්‍රදේශයට පිට පළාත්වලින් වාහන විශාල ප්‍රමාණයක් ඊයේ දිනයේ දී පැමිණ තිබේ. එබැවින් මාර්ගය අයිනේ සිටි මෙම කුඩා දරුවා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගියා දැයි සැකයක් පවතින බැවින් දරුවා සොයාගැනීමට සහය වන ලෙස ද පොලිසිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

මෙම දරුවා පිළිබඳ කිසියම් තොරතුරක් ඇත්නම් මතුගම ප්‍රාදේශීය ලේකම් මධූෂ සංකල්ප (0718122553) හෝ ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ‍ලෙස ඉල්ලා සිටියි.

Related articles

error: Content is protected !!