සිරංගිකා ලොකුකරවිට විසිනි
කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් නම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රය සම්බන්ධ කතාබහට ලක්වූයේ එය කෘෂිකාර්මික ව්‍යාපාරයක් ලෙස ජනතාව අතර ප්‍රචාරය වීමත් සමඟය. සමාගමේ නිල තොරතුරුවල දැක්වෙන්නනේ තම ව්‍යාපාරය වගා කිරීම, කෘෂි නිෂ්පාදන අලෙවිය හා අපනයනය වැනි කටයුතු මත පදනම් වූවක් බවයි. එසේම, තමන් මූල්‍ය හෝ බහු අලෙවිකරණ (Multi-Level Marketing – MLM) ආයතනයක් නොවන බවද සඳහන් කරයි. එහෙත් ආයෝජන සම්බන්ධයෙන් සමාජයේ සහ මාධ්‍යයේ වැඩි අවධානයක් ඇතිවීමට පසුබිම් වූයේ සමාගම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඇතැම් ප්‍රකාශ සහ ඒවාට ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදුන් පැහැදිලි කිරීමයි.
විශේෂයෙන් 2026 ජුනි මාසයේදී කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්හි අධ්‍යක්ෂවරයකු ලෙස හඳුන්වාදුන් රංජිත් නන්දන පීරිස් මහතා රූපවාහිනී වැඩසටහනකදී සමාගම මහ බැංකුවෙන් නියාමනය වන බවත්, එම ආයතනයට නිතිපතා තොරතුරු හා ලේඛන ලබාදෙන බවත් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම කතාබහ තවත් උණුසුම් විය. ඊට ප්‍රතිචාර දක්වමින් මහ බැංකුව එම ප්‍රකාශ සාවද්‍ය හා නීතිමය පදනමකින් තොර බව සඳහන් කරමින්, කසාගල සම්බන්ධයෙන් මූල්‍ය ව්‍යාපාර පනත යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව නිල වශයෙන් දැනුම් දුන්නේය. පසුව එම සමාගම සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් අධිකරණය මගින් තහනම් නියෝග තහවුරු කිරීමත් සමඟ, කසාගල සම්බන්ධ කතාව සාමාන්‍ය ව්‍යාපාරික කතාබහකින් ඔබ්බට ගොස් මහජන මුදල් හා නීතිමය නියාමනය පිළිබඳ වැදගත් ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.
පසුගිය කාලයේ සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ඔස්සේද ‘කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්’ ආයතනය සම්බන්ධයෙන් විවිධ කතාබහ නිර්මාණය විය. විශේෂයෙන්ම මෙම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන බවට පළවූ මතය ඒ අතර ප්‍රධාන විය. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිල නිවේදන දෙස බලන විට පැහැදිලි වන්නේ මෙම තත්ත්වයේ සැබෑ පැත්ත වෙනස් බවයි.
“අපි මහ බැංකුවෙන් නියාමනය වෙනවා” කියූ ප්‍රකාශය
2026 ජුනි 8 වැනිදා ITN නාලිකාවේ “පිනි වියන” වැඩසටහනට එක්වෙමින් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්හි අධ්‍යක්ෂවරයකු ලෙස හඳුන්වා දුන් මල්වත්තගේ රංජිත් නන්දන පීරිස් මහතා ප්‍රකාශ කළේ, තමන්ගේ ආයතනය මහ බැංකුව විසින් නියාමනය කරන බවත්, සෑම මාස හයකට වරක් ඊට අදාළ ලේඛන මහ බැංකුවට ලබාදෙන බවත්ය.
එහෙත් ඊට දින කිහිපයකට පසු, එනම් ජුනි 12 වැනිදා නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය. එම ප්‍රකාශ “වැරදි, නොමඟ යවන සුළු සහ නීතිමය පදනමකින් තොර” බව පෙන්වා දුන් මහ බැංකුව, ජනමාධ්‍ය හරහා මෙවැනි අසත්‍ය තොරතුරු පැතිරීමෙන් මහජනතාවට බරපතළ හානියක් සිදුවිය හැකි බවද අවධාරණය කළේය.
කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් යනු මහ බැංකුවේ නියාමනයට යටත් ආයතනයක් නොවන බව තහවුරු කළ මහ බැංකුව, 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ එම සමාගම නීති විරෝධී ලෙස මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේද නැතහොත් මහජනයාගෙන් තැන්පතු භාරගත්තේ ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කළේය.
කසාගල කියන කතාව සහ මහ බැංකුවේ සොයාබැලීම
කසාගල සමාගම තම නිල වෙබ් අඩවිය ඔස්සේ තමන්ව හඳුන්වා දෙන්නේ ගම්මිරිස්, කුරුඳු, අඹ ඇතුළු කෘෂි නිෂ්පාදන වගා කර වෙළෙඳපොළට නිකුත් කරන හා අපනයනය කරන කෘෂිකාර්මික ව්‍යාපාරයක් ලෙසයි. එමෙන්ම “අපි මූල්‍ය හෝ MLM සමාගමක් නොවේ” යන්නද එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, මහ බැංකුවේ විමර්ශනයේදී සොයා බලන්නේ මූලික වන්නේ ආයතනය තමන්ව හඳුන්වාගන්නා ආකාරය නොවේ. නීතියට අනුකූලව ජනතාවගෙන් මුදල් ලබාගෙන ඇති ආකාරය, ඒ සඳහා දුන් පොරොන්දු සහ එම ක්‍රියාකාරකම් නීති විරෝධී තැන්පතු භාරගැනීමක් හෝ මූල්‍ය ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිද යන්නයි.
වත්කම් තහනම සහ විමර්ශනයේ වත්මන් තත්ත්වය
සිද්ධියට අදාළ තවත් වැදගත් පියවරක් වන්නේ කසාගල සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති තහනම් නියෝගයයි. මූල්‍ය ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ අදාළ සමාගම් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු දේපළ හා වත්කම් විකිණීම, පැවරීම හෝ ගනුදෙනු කිරීම සීමා කරමින් මෙම නියෝග නිකුත් කර ඇති අතර කොළඹ මහාධිකරණය මගින් එය තහවුරු කර දීර්ඝ කර තිබේ.
මෙහිදී තේරුම් ගත යුතු වැදගත් නීතිමය කරුණක් වන්නේ, වත්කම් තහනම් කිරීම යනු සමාගම වරදකරු කිරීමක් නොවන බවයි. විමර්ශන පවත්වන අතරතුර වත්කම් පිටතට පැවරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.
තවද, මහ බැංකු ලේඛනවලට අනුව මෙම ලැයිස්තුවේ ඇති ඇතැම් සමාගම් නීති විරෝධී ලෙස තැන්පතු භාරගෙන ඇති බවට දැනටමත් තීරණය කර තිබුණද, කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගම සම්බන්ධ විමර්ශනය තවමත් අවසන් වී නැත. එම නිසා මෙම මොහොතේ කසාගල යනු මහ බැංකු විමර්ශනයකට ලක්ව ඇති, වත්කම් තහනමකට යටත් සමාගමකි.
මහජනතාවට ඇති පාඩම
“ආයෝජනයක්”, “කෘෂිකාර්මික ව්‍යාපෘතියක්” හෝ “බිස්නස් පැකේජයක්” ලෙස කුමන නමකින් හැඳින්වුවද, යම් ආයතනයකට මුදල් දීමට පෙර එම ආයතනයට තැන්පතු භාර ගැනීමට හෝ මූල්‍ය ව්‍යාපාර කිරීමට මහ බැංකුවේ නිල අනුමැතිය තිබේදැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම කෙටි කාලයකින් අධික හෝ සහතික කළ ලාභ ලබාදෙන බවට වන පොරොන්දු කෙරෙහි ජනතාව දැඩි ලෙස ප්‍රවේශම් විය යුතුය.
සමාගම මහ බැංකුවෙන් නියාමනය වන්නේ නැත. එහි ක්‍රියාකාරකම් ගැන විමර්ශනයක් ක්‍රියාත්මක අතර වත්කම්ද තහනම් කර ඇත. එහෙත් මහ බැංකු විමර්ශනය තවමත් අවසන් වී නොමැති බැවින්, කසාගල කතාවේ අවසාන පරිච්ඡේදය තවමත් ලියැවී නොමැත.
මාධ්‍ය ප්‍රචාරණයට වැය කළ මුදල් ගැනත් ප්‍රශ්න
කසාගල සම්බන්ධයෙන් මතුව ඇති තවත් වැදගත් ප්‍රශ්නයක් වන්නේ එම සමාගම තම ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මාධ්‍ය හා සමාජ මාධ්‍ය අවකාශය භාවිත කළ ආකාරයයි. විවිධ මාධ්‍ය ආයතන, යූටියුබ් නාලිකා සහ වෙනත් ඩිජිටල් වේදිකා ඔස්සේ කසාගල සම්බන්ධ දැන්වීම් හා ප්‍රවර්ධන අන්තර්ගත පළ වූ බවට තොරතුරු මතුව ඇති අතර, ඒ හරහා සමාගමට පුළුල් මහජන පිළිගැනීමක් සහ විශ්වාසයක් ගොඩනගා ගැනීමට උත්සාහ කළේද යන්න පිළිබඳවද විමසිය යුතුය. කෙසේ වෙතත්, මාධ්‍ය ආයතන වෙත කසාගල විසින් කොපමණ මුදලක් වැය කර තිබේද, එම මුදල් දැන්වීම් සඳහා පමණක්ද නැතිනම් වෙනත් ආකාරයේ වාණිජ සබඳතා සඳහාද යන්න පිළිබඳ සම්පූර්ණ සහ ස්වාධීන දත්ත තවමත් ප්‍රසිද්ධියේ නොමැත.
එහෙත් මෙහිදී වඩාත් වැදගත් වන්නේ මුදල් වියදම් කළේ දැන්වීම් සඳහාද, නැතිනම් සමාගම සම්බන්ධ විවේචන යටපත් කිරීමට හෝ හිතකර ප්‍රතිරූපයක් ගොඩනැගීමටද යන ප්‍රශ්නයයි. කසාගල සම්බන්ධයෙන් මහ බැංකු විමර්ශනයක් පවතින බව නිල වශයෙන් දැනුම්දී තිබියදීත්, එම කරුණ පිළිබඳ මාධ්‍ය අවධානය සීමා වූයේද වාණිජ සබඳතා හේතුවෙන්ද යන්න සොයා බැලීම ජනමාධ්‍ය වගකීමකි. එවැනි චෝදනා සත්‍ය නම් එය එක් ව්‍යාපාරයක මාධ්‍ය ප්‍රචාරණ උපායමාර්ගයකට පමණක් සීමා නොවී, මුදල් බලය මගින් මහජන තොරතුරු අවකාශයට බලපෑම් කළ හැකිද යන වඩාත් බරපතළ ප්‍රශ්නයක් බවට පත්වේ.



