28.9 C
Galle

“ප්‍රතිජීවක ගෙන්වීමෙන් රුපියල් මිලියන 500ක් රජයට අහිමිකරලා“ – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Published:

සෙෆියුරොක්සීම් නමැති ප්‍රතිජීවක ඖෂධයක් රජයේ රෝහල් සඳහා වැඩි මුදලට මිල දී ගැනීමෙන් රුපියල් මිලියන 500ක් රජයට අහිමිකර ඇතැයි පවසමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ පැමිණිලි කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ලේ දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2022-11-08 වැනි දින ටෙන්ඩර් අංක DHSPWW1823 ටෙන්ඩරයට අනුව සෙෆියුරොක්සිම් එන්නත මිල දී ගැනීමේ දී අඩුම ටෙන්ඩර්කරු වන ස්විට්සර්ලන්ත සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයාට ටෙන්ඩරය නොදී වැඩිම ලංසු සටහන් කර ඇති සිංගප්පූරු සමාගමක් වෙත මෙම ටෙන්ඩරය පිරිනමා ඇති බවයි.

එන්නත් ලක්ෂ 25ක් මිල දී ගැනීම සඳහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති අතර ස්විට්සර්ලන්ත සමාගම ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ එකක් ඩොලර් 0.25ක් ලෙසිනි. නමුත් ටෙන්ඩරය ලබාගත් සිංගප්පූරු සමාගමෙන් එක් එන්නතක් මිල දී ගෙන ඇත්තේ ඩොලර් 0.75ක් බැගිනි.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි සමන්ත තුෂාර විසින් ඔහුගේ අත්සන සහිතව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ මෙම දූෂිත ගනුදෙනුව හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලින 500ක පාඩුවක් සිදුව ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායක ඇතුළු නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම එන්නත් ගෙන්වීමේ දී ඖෂධ නියාමන අධිකාරියේ පර්යේෂණ වාර්තා පවා සැළකිල්ලට ගෙන නොමැති බවයි.

මෙම පැමිණිල්ල බාර දෙන අවස්ථාවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ද එක්ව සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!