32.7 C
Galle

කන්දක සිට පසුපසට ධාවනය වූ කැබ් රථයකට යටවී පදිකයෙක් මරුට

Published:

අක්මීමන පොලිස් වසමට අයත් නරාවල, පෝද්දල ප්‍රදේශයේදී කන්දක් මත සිට පසුපසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් පදිකයෙකු ඊයේ (15) රාත්‍රි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නරාවල, පෝද්දල ප්‍රදේශයේම පදිංචිව සිටි 58 හැවිරිදි තලහිටිය විතානගේ මාලසිංහ විතානගේ නැමැති අයෙකි.

පොලිසිය පවසන පරිදි, අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ කැබ් රථය පෝද්දල කාසල් හිල් වත්ත මාර්ගයේ පිහිටි කන්දක් මත සිට පසුපසට ධාවනය කර තිබේ. කන්ද මුදුනේ රථය හැරවීමට ප්‍රමාණවත් ඉඩකඩක් නොමැති වීම හේතුවෙන් රියදුරු විසින් රථය මෙලෙස පසුපසට ධාවනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම අවස්ථාවේදී මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි මරණකරු කැබ් රථයේ ගැටී බරපතළ තුවාල ලබා තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වහාම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

අනතුරට සම්බන්ධ කැබ් රථය පැදවූ තරුණයා අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අක්මීමන පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මක කෙරේ.

Related articles

Recent articles

error: Content is protected !!