රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සිවු හැවිරිදි දරුවෙකුගේ මරණය, මරණ පරීක්ෂණයකට යොමු කිරීමෙන් තොරව වාට්ටුවෙන් නිදහස් කළ පුවතක් කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙයි. පසුගිය 30 වනදා එහි අධිකරණ වෛද්‍ය අංශයේ පැවත්වූ මරණ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වූ අතර මෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට, තරුණ සේවා මාවත පදිංචි සයෝන් එනාෂ් වීරතුංග නමැති සිව් හැවිරිදි පිරිමි දරුවෙකි.
මෙම දරුවා මීට මාස අටකට පමණ පෙර සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 30 වනදා මියගොස් තිබිණි. එහිදී වාට්ටුවෙන් නිකුත් කළ ලේඛනය අනුව මරණයට හේතුව ලෙස “නිව්මෝනියාව” යනුවෙන් සඳහන් කරමින් මරණය නිදහස් කර තිබිණි.
මරණය ලියාපදිංචි කිරීම සඳහා දරුවාගේ පියා ගාල්ල ජාතික රෝහලේ උපත් හා මරණ රෙජිස්ටාර්වරයා වෙත ගොස් ඇති අතර, එහිදී ලේඛන පරීක්ෂා කිරීමේදී මෙම දරුවා රිය අනතුරක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව අනාවරණය වී ඇත. ඒ අනුව, මෙවැනි මරණයක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් අනිවාර්යයෙන් සිදු කළ යුතු බවට රෙජිස්ටාර්වරයා ලෙස කටයුතු කළ ලාල් රත්නායක මහතා දැනුම් දී ඇති අතර, ඒ අනුව දරුවාගේ පියාට වහාම මරණ පරීක්ෂකවරයා වෙත යොමු වීමට උපදෙස් ලබා දී ඇත.
පසුව මෙම සිද්ධිය පිළිබඳව ගාල්ල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එදින ගාල්ල ජාතික රෝහලේ මරණ පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ චන්ද්‍රසේන ලොකුගේ මහතා වෙත මෙම මරණය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබිණි.
එහිදී දරුවාගේ පියා වන සමීර ප්‍රගීත් වීරතුංග මහතා (45) සිය සාක්ෂිය ලබා දෙමින් පවසා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ තම එකම දරුවා බවයි. ඔහුට වෙනත් කිසිම අසනීපයක් නොතිබූ බවත් අනතුර සිදුවන දිනය වනවිට ගාල්ල ස්මරණ දේවස්ථානයේ මොන්ටිසෝරියේ දරුවා අධ්‍යාපනය ලබමින් සිටි බවත් පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු මෙසේද කියා සිටියේය
“පුතාව හැමදාම ත්‍රිවිලර් එකෙන් මොන්ටිසෝරියට මම එක්කගෙන යන්නේ, ගිය අවුරුද්දේ අගෝස්තු පස් වැනිදා වෙනදා වගේම මම ත්‍රිවිලර් එකෙන් පුතාව මොන්ටිසෝරියට එක්කන් යන්න ලේස්ති උනා. හැමදාම මම පුතාව ත්‍රීවිලර් එකේ ඉස්සරහ තියාගෙන තමයි යන්නේ. ඒත් එදා පුතා කිව්වා එයාට පිටිපස්සෙන් යන්න ඕනේ කියලා. පිටිපස්සේ සීට් එකත් ගලවලයි තිබුණේ. ගෙවල් කිට්ටුවම අපේ කඩයක් තියෙනවා. මම හිතුවා පුතාගෙත් කැමැත්ත නිසා ඒ කඩේ ලඟට යනකම් පුතාව පිටිපස්සෙ තියාගෙන යනවා කියලා. කඩේ ලඟදි ඉස්සරහට ගන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් කඩේ ලඟට යන්න වුණේ නැහැ එකපාරටම දරුවා ත්‍රීවිලර් එකෙන් වැටුනා. මම ත්‍රිවිලර් එක නතර කරලා දරුවා උස්සලා ගත්තා. එයාගේ ඔළුවෙන් ලේ ඇවිත් තිබුණා. සිහිය තිබුණේ නෑ. බිරිඳත් එවෙලෙම දුවගෙන ඇවිත් අපි දෙන්නත් එක්කම ත්‍රිවිලර් එකෙන් දරුවාව කරාපිටිය රෝහලට ගෙනිච්චා. එහිදී දරුවාගේ හිසේ ශල්‍ය කර්මයක් කරලා දැඩි සත්කාර ඒකකයට දැම්මා. දැඩි සත්කාර ඒකකයේ මාසයක් විතර ප්‍රතිකාර ලැබුවා. දරුවාට ලොකු සනීපයක් තිබුණෙ නැහැ. නමුත් එයාව අටේ වාට්ටුවට දැම්මා. මාස හයක් විතර ඉඳලා එකේ වාට්ටුවට දැම්මා. දරුවට කෑම දෙන්න බඩට බටයක් දාලා තිබුනෙ. නාසයෙනුත් බට දාලා තිබුණා. ඔහු සැරින් සැරේ ඇස් අරිනවා විතරයි. බිරිඳ දරුවාගේ ලඟ හිටියා. පසුගිය දිනවල වෛද්‍යවරු කිව්වා දරුවාට ටිකක් අමාරුයි කියලා. අප්‍රේල් තිස් වැනිදා උදේ දරුවා නැති වුණා. වාට්ටුවේ වෛද්‍යවරු මරණයට හේතුව නිව්මෝනියාව ලෙස සඳහන් කරලා ලේඛනය ලබා දුන් නිසා මම ඒකත් අරගෙන රෙජිස්ටර් මහත්තයා ළඟට ගියා. නමුත් ඔහු පරීක්ෂා කරල බලල කීවා මේ සඳහා මරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බව. එහිදී නැවත පොලිසියත් සමඟ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ආවා.”
පශ්චාද් මරණ පරීක්ෂණය සිදුකළ රුහුණු විශ්ව විද්‍යාලයේ අධිකරණ අංශයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍යය යූ සී පී පෙරේරා මහතා විසින් ලබාදුන් වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි ඇතුළු අනෙකුත් වෛද්‍ය වාර්තා අනුව, මෙය රිය අනතුරක් හේතුවෙන් හිස්කබලට සහ මොළයට සිදුවූ තුවාලවල සංකූලතා නිසා සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂක ලොකුගේ මහතා විසින් තීරණය කරනු ලැබීය. ගාල්ල පොලිසිය විසින් පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීය.


