සමහර ජීවිත කථා හරිම පුදුමාකාරය. දරාගන්නට බැරි තරම් වේදනාකාරීය. එකම පවුලකට මාස කිහිපයක් ඇතුළත මරණය දෙවතාවක්ම අමුත්තෙකු වී පැමිණෙන විට ඒ නිවසේ ඉතිරි වන්නේ හිස්තැනක් සහ කඳුළක් පමණි.
මෙය දහඩිය මහන්සියෙන් ජීවිතය දිනන්නට උත්සාහ කළ, තම පවුලේ බලාපොරොත්තුව වූ තරුණයෙකුගේත්, එම මරණය හමුවේ තනි වූ පියෙකු සහ සොහොයුරන් දෙදෙනකුගේත් අතිශය සංවේදී කතාවයි.
මියගොස් තිබුණේ කරුණාගොඩ මුදලිගේ ඉඳුරු පැහැසර නැමැති 26 හැවිරිදි තරුණයෙකි. ඔහු වෘත්තියෙන් කොළඹ පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවෙකු (Software Developer) ලෙස සේවය කළ අයෙකි. තරුණ වයසේදීම තම වෘත්තීය ගමන සාර්ථක කරගැනීම සඳහා ඔහු රත්මලාන ප්‍රදේශයේ ආයතනයක උපාධි පාඨමාලාවක්ද හදාරමින් සිටියේය.
විභාග අවසන්ව ලැබුණු නිවාඩුව හේතුවෙන්, සති අන්තයේ නිවසට යාමට ඔහු කොළඹින් පිටත් වූයේ කෙතරම් බලාපොරොත්තු ඇතිවද?
ඉකුත් 15 වනදා රාත්‍රියේ ඉඳුරු කොළඹ සිට හික්කඩුවට දුම්රියෙන් පැමිණ, එතැන් සිට බස් රථයකින් ගාල්ලට පැමිණ තිබුණි. ගාල්ලෙන් ඔහු තම නිවස බලා යාමට රාත්‍රී 8.20ට පිටත් වන උඩුගම ඩිපෝවට අයත් ලංගම බස් රථයට ගොඩ වූයේය.
එදින ඊට පෙර තිබිය යුතු බස් රථය ධාවනය නොවුන නිසා, ඉඳුරු ගොඩ වූ බස් රථය මගීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබුණි. බස් රථය ඇතුළට යාමට ඉඩක් නොලැබුණු නිසා ඔහුට සිදුවූයේ බස් රථයේ ඉදිරිපස පාපුවරුවේ එල්ලී ගමන් කිරීමටය. මකුළුව හන්දිය පසු වී මීටර් කිහිපයක් යනවිට, බස් රථයේ තෙරපීම දරාගත නොහැකි වීමෙන්, මේ තරුණයා බස් රථයෙන් වීසි වී මහ පාරට වැටුණේය. තත්පර කිහිපයකින් බස් රථයේ පසුපස රෝදය ඔහුගේ සිරුර මතින් ගමන් කර තිබුණේ ඔහුට මෙලොව ජීවත් වන්නට කිසිදු ඉඩක් ඉතිරි නොකරමිනි.
මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඉඳුරුගේ මල්ලී වන සජන මිහිසර පැවසූ වචන ඇසූ සැමගේ දෑස් කඳුළින් තෙත් විය.
“අපේ අම්මා හදිසියේම මියගිහින් මාස පහක් වුණෙත් නැහැ. දැන් අපිට අයියත් නැති වුණා. තාත්තා රෑ අයියා එන්න පරක්කු නිසා කෝල් අරන් තියෙනවා. ඒ කෝල් වලට ආන්සර් කරලා තිබුණේ කරාපිටිය රෝහලෙන්. තාත්තා යනවිටත් අයියා නැති වෙලා…”
ගාල්ල ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්දුසේන ලොකුගේ මහතා ඉදිරියේ හඬා වැටෙමින් ඔහු පැවසීය. මවගේ මරණයෙන් පසුව ඒ පවුලට ශක්තියක් වූ වැඩිමල් සොහොයුරා ද මෙලෙස සමුගැනීම දරාගත නොහැකි ශෝකයක් බවට පත්ව තිබේ.
මෙම මරණය රිය අනතුරකින් සිදුවූවක් බව තීන්දු වුවද, මෙහිදී පැන නගින ප්‍රශ්න කිහිපයක් තිබේ. නියමිත වේලාවට බස් රථ ධාවනය නොවීම නිසා මගීන් මෙලෙස අවදානම් ලෙස පාපුවරුවේ ගමන් කිරීමට සිදුවීම කාගේ වරදක්ද? අහස උසට හීන දැක ඒ හීන ජය ගන්නට වෙහෙස වූ ඉඳුරු වැනි තරුණයන්ගේ වටිනා ජීවිත මෙලෙස මහ පාරේ දූවිලි වී යාමට ඉඩ දිය යුතුද?
ඉඳුරු පැහැසර තරුණයාගේ නිසල සිරුර අසල අද ඔහුගේ පියා සහ සොහොයුරන් තනිව සිටින්නේ, මාස කිහිපයකට පෙර මෙලෙසම සමුගත් මවගේ මතකයද දරාගෙනය. සොබාදහම ඔවුන්ට කෙතරම් අකාරුණික වී ඇත්දැයි කියා සිතෙන තරමට ඒ ශෝකය අසීමිතය.



