දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ වයඹ යන පළාත්වලට මෙන්ම මොනරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට මෙම තද සුළං තත්ත්වය බලපෑ හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම තද සුළං හේතුවෙන් බහුවිධ හානි සිදුවීමේ අවදානමක් පවතින බවට කාලගුණ අංශ අනතුරු අඟවයි. විශේෂයෙන්ම
නිවාස සහ ගොඩනැගිලිවල සෙවිලි තහඩු සහ උළු ගැලවී යාම, විදුලි සහ සන්නිවේදන රැහැන් පද්ධතිවලට හානි සිදු වීම, ගස් කඩා වැටීම, කුඹුරු, කෙසෙල්, ගස්ලබු ඇතුළු වගාවන්ට සහ පළතුරු වතුවලට හානි සිදු වීම, වරායන්හි නවතා ඇති යාත්‍රාවලට හානි සිදු වීම සහ පහත්බිම් සහිත වෙරළබඩ කලාප මුහුදු ජලයෙන් යටවීම. සිදුවිය හැකි බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
පවතින අවදානම් තත්ත්වය සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් දෙයි.
හානියට පත් ගොඩනැගිලි, කඩා වැටුණු ගස් සහ විදුලි රැහැන් ආශ්‍රිතව සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත්, වෙනස් වන කාලගුණ තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙසත් දැනුම් දෙයි. තවද, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ නිවේදන කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්, හදිසි අනතුරකදී වහාම ප්‍රාදේශීය ආපදා කළමනාකරණ බලධාරීන් සම්බන්ධ කරගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.



