27 C
Galle

ලැව්ගිනි පැතිරෙද්දී බ්‍රිතාන්‍ය යුවළක් ප්‍රපාතයකට ඇද වැටී පිළිස්සුම් තුවාල, මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළට!

Published:

දකුණු යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ස්පාඤ්ඤයේ අල්මේරියා (Almeria) ප්‍රාන්තයේ හටගත් දරුණු ලැව්ගිනි හේතුවෙන් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ජාතික යුවළක් ප්‍රපාතයක වැටී සිටියදී අර්ධ සිහිසුන් තත්ත්වයෙන් මුදාගෙන ඇති බව දේශීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් දෙදෙනා කඳවුරු බැඳීමට හෝ ඇවිදීමට (Hiking) ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත. පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රාන්තය පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය ලැව්ගින්නට මොවුන් හසු වී ඇති අතර, දැනට රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

ලැව්ගින්නෙන් වඩාත්ම පීඩාවට පත් වූ ‘බේඩර්’ (Bedar) ගම්මානය අසල දිවි ගලවා ගත් අය සෙවීමේ නිරත වූ සිවිල් ආරක්ෂක නිලධාරීන්ට සිකුරාදා අලුයම දුරස්ථ ප්‍රදේශයකින් ඇසුණු කෑගැසීමක් ඔස්සේ මෙම යුවළ සොයා ගැනීමට හැකි වී තිබේ.

ප්‍රපාතයෙන් පහළට බැස සෝදිසි කිරීමේදී ඔවුන්ගේ සිරුරු දැඩි ලෙස පිළිස්සී, අර්ධ සිහිසුන්ව සිටිනු නිලධාරීන් දැක ඇත. ඔවුන් සිටි තත්ත්වය අනුව උදව් ඉල්ලා කෑගැසීමට පවා අතිමහත් උත්සාහයක් දරන්නට ඇති බව මුදාගැනීමේ කණ්ඩායම් පවසති.

ප්‍රාන්ත බලධාරීන් පවසන පරිදි, මේ වන විට ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් සිව්දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් බවට විශ්වාස කෙරේ. හෙක්ටයාර 6,600ක භූමි ප්‍රමාණයක් ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ඇත. මියගිය අයගේ සිරුරු හඳුනාගැනීම සඳහා මැඩ්රිඩ් නුවර අධිකරණ වෛද්‍ය විද්‍යාඥයන් විසින් DNA පරීක්ෂණ පවත්වමින් සිටින නමුත්, ඥාතීන් විදේශයන්හි සිට පැමිණෙන බැවින් එම ක්‍රියාවලිය ප්‍රමාද වී තිබේ.

මෙය ස්පාඤ්ඤ ඉතිහාසයේ සිදු වූ දරුණුතම ලැව්ගිනි ව්‍යසනයන්ගෙන් එකක් වන අතර, මීට පෙර 1984 දී ලා ගොමේරා දූපතේදී පුද්ගලයන් 20 දෙනෙකු ද, 1979 දී ලොරෙට් ඩි මාර් හිදී පුද්ගලයන් 21 දෙනෙකු ද ලැව්ගිනිවලින් මියගොස් තිබුණි.

ප්‍රදේශයේ පදිංචිකරුවන් චෝදනා කරන්නේ භූමිකම්පා සඳහා නිකුත් කරන ආකාරයේ හදිසි ජංගම දුරකථන අනතුරු ඇඟවීමේ පණිවුඩ (Mobile Alerts) බලධාරීන් විසින් නිකුත් නොකළ බවයි. කෙසේ වෙතත්, පළාත් නිලධාරීන් පවසා සිටියේ එම පණිවුඩය බලපෑමට ලක් නොවූ අනෙකුත් ප්‍රදේශවලටද ගොස් ජනතාව කලබලයට පත්වීම වැළැක්වීම සඳහා එය නිකුත් නොකළ බවයි.

මේ වන විට ගිනි නිවන භටයන් 1,500ක් පමණ සහ ගුවන් යානා 30ක් යොදවා ගින්න පාලනය කිරීමට සමත්ව ඇති අතර, පවතින සන්සුන් සුළං තත්ත්වය හේතුවෙන් ගින්න තවදුරටත් පැතිරීම වළක්වා ගනිමින් එහි සීමාවන් ආරක්ෂා කර ගැනීමට හැකි වූ බව ඇන්ඩලූසියාවේ ප්‍රාදේශීය බලධාරීහු ප්‍රකාශ කරති.

දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපය පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ යාම මෙවැනි දරුණු ලැව්ගිනි නිරන්තරයෙන් හටගැනීමට ප්‍රධාන හේතුව වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!