මීගොඩ හන්දිය ආසන්නයේ පැවැති දන්සලක් අසල පෝලිමේ රැඳී සිටි පිරිසක් අතරට අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.
හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මෙම අනතුරට සම්බන්ධ වී ඇති අතර, අනතුර සිදු කළ රියැදුරා බීමත්ව සිට ඇති බව පොලීසිය තහවුරු කර තිබේ.
අනතුරින් වයස අවුරුදු 15, 32 සහ 56 වයස්වල පසුවූ කාන්තාවන් තිදෙනෙකු සහ වයස අවුරුදු 35ත් 38ත් අතර පසුවූ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පිරිස හංවැල්ල, අවිස්සාවේල්ල සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙකු ද සිටින අතර, ඔවුන් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු රෝහල්ගත කළ අතර, ඉන් හය දෙනෙකු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.
අනතුර සිදු කිරීමෙන් අනතුරුව කැබ් රථය නොනවත්වා පලා යාමට උත්සාහ කර ඇති නමුත්, ගොඩගම හන්දියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් රියැදුරා සහ කැබ් රථය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා වයස අවුරුදු 42ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අනතුර සිදුවන අවස්ථාවේදී බීමත්ව සිට ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
වෙසක් සමයේ පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් එක්රැස්ව සිටි පිරිසක් මෙලෙස ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ දැඩි කම්පනය පළ වී ඇති අතර, මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



