27.9 C
Galle

මහ වැස්සෙන් මධ්‍යම සහ ඌව කඳුකරයට ආපදා, නිවාස යටවී මාර්ග වැසෙද්දී අදත් වැසි සමග අකුණු අනතුරු ඇඟවීම්

Published:

ඊයේ (21) සවස පැවති අධික වර්ෂාවත් සමඟ දික්ඔය ඇළ පිටාර ගැලීම හේතුවෙන් දික්ඔය ෆෝඩයිස් වතුයායේ පහත්බිම්වල පිහිටි නිවාස 50ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබේ. මේ හේතුවෙන් එම වතුයායේ පවුල්වලට අයත් සාමාජිකයන් 100කට අධික පිරිසක් අවතැන් වී ඇති අතර ඔවුන් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත. වර්ෂාව හේතුවෙන් හැටන් – ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ ගමනාගමන කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව හැටන් පොලීසිය පවසයි.

බදුල්ල – සොරණාතොට මාර්ගයේ නායයෑම්

බදුල්ල ප්‍රදේශයට සවස් කාලයේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සොරණාතොට, පතනවත්ත, තැන්නපංගුව මාර්ගයේ 10 කණුව ප්‍රදේශයට යළිත් පස්කඳු කඩා වැටීම ආරම්භ වී තිබේ. මීට පෙර ‘දිට්වා’ සුළි කුණාටු සමයේදී ද නායයෑමට ලක්වූ මෙම ස්ථානයේ පස් කඩා වැටීම නිසා රථවාහන ධාවනය ඇණහිට ඇති බව කන්දේගෙදර පොලීසිය පවසයි. මාර්ගයට වැටී ඇති පස් සහ ගල් අද දිනය තුළ ඉවත් කිරීමට කටයුතු කරන බව ඌව පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ අකුණු

අද (22) පස්වරු 1.00න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!