පවතින තද වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරංගහවෙල සිට බෙරගල සහ හපුතලේ දක්වා වූ මාර්ග කොටසේ ගල් පෙරළීමේ දැඩි අවදානමක් පවතින බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර රාජපක්ෂ මහතා පවසයි.
හපුතලේ සහ බෙරගල අතර උඩ විහරගල ප්‍රදේශයේදී විශාල ගල් පර්වතයක් මාර්ගය මතට පතිත වීම හේතුවෙන් දැනට එක් මන් තීරුවක් අවහිර වී පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රදේශයට පවතින අධික වර්ෂාව මෙන්ම දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් මාර්ගය මතට පතිත වී ඇති ගල් රියදුරන්ට පැහැදිලිව නොපෙනීම නිසා අනතුරු සිදුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව සභාපතිවරයා පෙන්වා දෙයි. මාර්ගය මතට එක්වරම ගල් පර්වත පෙරළී ඒමෙන් සිදුවිය හැකි විශාල අනතුරු පිළිබඳව ඉතා විමසිලිමත් වන ලෙස ඔහු අදාළ අංශ වෙත දන්වා ඇත.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් ඉතා විමසිලිමත්ව රථවාහන ධාවනය කළ යුතු බව පොලීසිය ද අවධාරණය කර සිටියි.


