2026 වසරේ වෙසක් සහ පොසොන් පොහෝ දින නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍යය තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) සහ ආහාර පාලක නිලධාරීන් වෙත යොමු කර ඇති මෙම උපදෙස් මාලාව මගින් දන්සැල් සංවිධායකයන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු රැසක් අවධාරණය කර ඇත.
ලියාපදිංචිය සහ පරීක්ෂාව
සෑම දන්සැලක්ම අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) කොට්ඨාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. එහිදී සංවිධායකයන්ගේ තොරතුරු, දන්සැල පවත්වන ස්ථානය සහ සම්බන්ධ කරගත හැකි දුරකතන අංක ලබා දිය යුතුය. දන්සැල ආරම්භ කිරීමට පෙර මෙන්ම එය අවසන් වූ පසුවද එම ස්ථානය පරික්ෂා කර, පරිසර සෞඛ්‍යයට හානි නොවන බව තහවුරු කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වගකීමකි.
ආහාර සහ ජල සුරක්ෂිතතාව
දන්සැල් සඳහා ආහාර පිළියෙල කිරීමේදී හැකි සෑම විටම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජලය හෝ ආරක්ෂිත ජල මූලාශ්‍රයකින් ලබාගත් ජලය භාවිතා කළ යුතුය. විශේෂයෙන්ම, ආහාර පිළියෙල කළ මොහොතේ සිට එය පරිභෝජනය කරන අවස්ථාව දක්වා කාලය පැය 4කට වඩා වැඩි නොවිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
සනීපාරක්ෂක පහසුකම් සහ කසළ කළමනාකරණය
දන්සැල් භූමිය තුළ අත් සේදීම සඳහා ප්‍රමාණවත් ජල පහසුකම් සහ පිරිසිදුකාරක (Soap/Sanitizer) සැපයීම සංවිධායකයන්ගේ වගකීමකි. එමෙන්ම, ආරම්භයේ සිට අවසානය දක්වා විධිමත් කසළ කළමනාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු අතර, සියලු කටයුතු 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකූල විය යුතුය.
මහජනතාවට පිරිසිදු හා ගුණාත්මක ආහාර ලබාදීම සහතික කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් දන්සැල් පරීක්ෂා කිරීමට නියමිතය.


