27.1 C
Galle

ලෙඩ දෙන සිසිල් බීම වෙනුවට උණුසුම් පානවලට මුල්තැන දෙන්න

Published:

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සල් සංවිධානය කරනු ලබන සංවිධායකයින්, සිසිල් බීම දන්සල් වෙනුවට තේ සහ කෝපි වැනි උණුසුම් පාන වර්ග ලබාදෙන දන්සල් කෙරෙහි වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. පවතින සෞඛ්‍ය තත්ත්වයන් සහ ජලයෙන් බෝවන රෝග පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ විසින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ අපිරිසිදු ජලය භාවිතය හේතුවෙන් ලෙඩ රෝග පැතිරීමේ වැඩි ප්‍රවණතාවක් සිසිල් බීම දන්සල් ආශ්‍රිතව පවතින බවයි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් මේ දිනවල බෝවන රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින්, මහජන සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

දන්සල් සැලසුම් කිරීමේදී අදාළ ප්‍රදේශයේ බල ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සමඟ අනිවාර්යයෙන්ම සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටී.

දන්සල් ලියාපදිංචිය, උපදෙස් ලබාගැනීම සහ පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ සම්බන්ධීකරණ දුරකථන අංක කිහිපයක් ද ප්‍රසිද්ධියට පත්කර ඇත.

කොළඹ මහා නගර සභා (CMC) බල ප්‍රදේශය සඳහා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.එච්.වී.සී. විතානගේ මහතා – 0776697674

දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා මධ්‍යම ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කේ.කේ.එල්. ජයලාල් මහතා – 0779191010

අතිරේක සම්බන්ධීකරණ සහාය සඳහා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ජනක සුනෙත් බණ්ඩාර මහතා – 0714327387

මහජනතාවට පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන සැපයීම වෙසක් දන්සල් සංවිධායකයින්ගේ මූලික වගකීමක් බැවින්, සෞඛ්‍ය අංශ ලබාදෙන මෙම උපදෙස් නීතිගරුකව පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් මතක් කර සිටියි.

Related articles

spot_img
error: Content is protected !!