30 C
Galle

සාගරිකා පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා, මගීන්ට සුළු තුවාල

Published:

බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වූ ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රිය අද (24) පෙරවරුවේ උතුරු කළුතර සහ වාද්දුව දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්විය. මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අනතුරින් දුම්රිය මාර්ගයේ මන්තීරු දෙකම අවහිර වී ඇති අතර දුම්රිය මාර්ගයට මෙන්ම දුම්රිය මැදිරිවලට ද දැඩි හානි සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය කොටස් දෙකකට වෙන්වී ඇති අයුරු දක්නට ලැබුණු බව වාර්තා වේ. මෙම අනතුරින් මගීන්ට බරපතළ හානි සිදුව නොමැති අතර, සුළු තුවාල ලැබූ කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

මාර්ගය අවහිර වීම හේතුවෙන් දැනට දුම්රිය ධාවනය සීමා කර තිබේ. කොළඹ මරදාන සිට පැමිණෙන දුම්රිය වාද්දුව දක්වා පමණක් ධාවනය වන අතර බෙලිඅත්ත, මාතර සහ ගාල්ල සිට පැමිණෙන දුම්රිය පානදුර සහ දකුණු කළුතර දක්වා සීමා කර ඇත.

අනතුර හේතුවෙන් දුම්රිය සේවා අවලංගු නොකිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, විකල්ප ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, පීලි පැනීම සිදුවූ ස්ථානය දක්වා දුම්රියෙන් පැමිණෙන මගීන් එතැනින් බැස්සවා, පීලි පැනීමෙන් එපිට ඇති වෙනත් දුම්රියක් මගින් ගමනාන්තය දක්වා රැගෙන යාමට කටයුතු යොදා ඇත.

කෙසේ වෙතත්, දුරගමන් සේවා සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, බොහෝ මගීන් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

Related articles

Recent articles

error: Content is protected !!