27.2 C
Galle

වනවාසලදී දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි

Published:

වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතරදී අද (16) අලුයම මගී දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ පහළ දුම්රිය මාර්ගයට දැඩි බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද අලුයම 3:25ට පොල්ගහවෙලින් පිටත්ව දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ අංක 507 දරන මන්දගාමී දුම්රිය මෙලෙස අනතුරට ලක්ව ඇත. පීලි පැනීමත් සමඟ දුම්රිය මැදිරියක් පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේදී එක් මගියෙකු මැදිරියෙන් පිටතට විසිවී ඇති බව වාර්තා වේ. එම මගියා පෙරළී ගිය මැදිරිය සහ දුම්රිය මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථයකට සිරවීමෙන් බරපතල තුවාල ලබා ඇති බවට පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ මගීන් 12 දෙනාගෙන් වැඩි පිරිසක් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය. තුවාල ලැබූවන් අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ පහළ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින්ම ඇණහිට ඇති අතර, ඉහළ මාර්ගය සහ තුන්වැනි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය. කෙසේ වෙතත්, කාර්යාල දුම්රිය ධාවනයේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට විශ්වාස කෙරේ.

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ඉංජිනේරු කණ්ඩායම් අනතුර සිදුවූ ස්ථානයට පැමිණ ඇති අතර, පීලි පැනීමට ලක්වූ මැදිරිය ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සහ අනතුරට හේතුව සෙවීමේ විමර්ශන ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!