28.3 C
Galle

යාල්දේවි යළි උතුරට, කොළඹ කොටුව සිට කන්කසන්තුරයට ධාවනය අද ඇරඹේ

Published:

දීර්ඝ කාලයකට පසු ‘යාල්දේවි’ දුම්රිය අද (11) සිට යළි සිය ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු දුම්රිය මාර්ගයේ සිදුවූ නඩත්තු සහ සංවර්ධන කටයුතු හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ මෙම සේවාව මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙලෙස දීර්ඝ කාලයකට පසු යළි ක්‍රියාත්මක කෙරේ.

නව ධාවන කාලසටහන

දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව යාල්දේවි දුම්රිය සතියේ දින කිහිපයක් සඳහා විශේෂිත කාලසටහනකට අනුව ධාවනය වීමට නියමිතය,

කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල ධාවනය වේ.

කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ධාවනය වීමට නියමිතය.

පහසුකම් සහ ආසන වෙන් කිරීම

මගීන්ට වඩාත් සුවපහසු ගමනාන්තයක් ලබා දීම වෙනුවෙන් මෙම දුම්රිය වායු සමනය කළ (A/C) පළමු පන්තියේ මැදිරි 04කින් සමන්විත වන බව දෙපාර්තමේන්තුව පවසයි. මෙම සියලු මැදිරි සඳහා පූර්ව ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා දී ඇති අතර, මගීන්ට දුම්රිය ස්ථානවලින් හෝ අන්තර්ජාලය හරහා සිය ආසන වෙන් කරවා ගැනීමේ හැකියාව පවතී.

යාල්දේවි දුම්රිය යළි මෙලෙස ධාවනයට එක් කිරීම උතුරු සහ දකුණු ප්‍රදේශ යා කරන ප්‍රවාහන ජාලය වඩාත් ශක්තිමත් කිරීමට මෙන්ම වෙළඳ සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය වීමට ද මහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related articles

error: Content is protected !!