31.1 C
Galle

ඩිජිටල් යුගයේ විද්‍යා සන්නිවේදනය, තොරතුරු බහුල ලෝකයක සත්‍යය සෙවීමේ අරගලය

Published:

(විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන විසින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණ හා ආහාර විද්‍යා අංශයේදී පැවැත්වූ දේශනයක් ඇසුරිණි.)

අද ලෝකය තොරතුරුවලින් පිරී ඇත. එක් බොත්තමක් ඔබන මොහොතකින් ලෝකයේ බොහෝ තොරතුරු ලෙහෙසියෙන් සොයා ගත හැකියුගයක අප ජීවත් වෙමු. තොරතුරු දැනුම බවට පත් වන්නේ සන්දර්භය සහිතව අවබෝධ කර ගැනීමෙනි. එහෙත් දැනුම යනුද සත්‍යයම නොවේ. සත්‍යයට ළඟා වීමක් පමණකි.

බහුල තොරතුරු අතරින් සත්‍යය හඳුනා ගැනීම සහ ඒ සත්‍යය මහජනතාවට නිවැරදිව, සරලව හා ආකර්ෂණීය ලෙස සන්නිවේදනය කිරීම යනු අතීතයට වඩා අද දවසේ අභියෝගාත්මකම කාර්යයක් බවට පත්ව තිබේ.

නාලක ගුණවර්ධන මහතාගේ දේශනය ඇසුරින් අවධාරණය වන්නේ, විද්‍යා සන්නිවේදනය යනු හුදෙක් විද්‍යාත්මක දත්ත හුවමාරු කිරීමක් නොව, එය සමාජයක් තුළ තීරණ ගන්නා ආකාරය, විශ්වාස ගොඩනැගීම සහ ජීවිත ආරක්ෂා කිරීම දක්වා බලපාන ක්‍රියාවලියක් බවයි.

2025–2026 කාලය වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු පරිසරය විමසා බැලූ විට, ජනගහනයෙන් 60%ක් පමණ ඉන්ටනෙට් භාවිතා කරන අතර, ජංගම දුරකථන සම්බන්ධතා අතිශයින් ඉහළ මට්ටමක පවතී (ජනගහනයෙන් 100ට සක්‍රිය ගිනුම් 130ක්).. සමාජ මාධ්‍ය භාවිතා කරන සමස්ත ජන සංඛ්‍යාව මිලියන 9කට ආසන්නය. එහිදී ෆේස්බුක් සහ යූටියුබ් ප්‍රධාන වේදිකා ලෙස ඉදිරියට පැමිණ ඇත.

සමීක්ෂණ පෙන්වා දෙන්නේ ලක් ජනයාගෙන් 90%කට වඩා ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු සඳහා වැඩිපුරම යොමු වන මූලාශ්‍රය දේශීය ටෙලිවිෂන් නාලිකා බවයි. ඊට අමතරව, 54%ක් පමණ තම පවුලේ අය හා හිතමිතුරන් හරහා ලැබෙන තොරතුරු (word of mouth) වඩාත් විශ්වාස කරති.

මෙය විද්‍යා සන්නිවේදනයට විශාල පාඩමක් සපයයි. සත්‍යය පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ; එය කවුරුන්ට, කොහොමද, කවදා කියන්නේද යන්න එක හා සමානව වැදගත්ය.

ඒ සඳහා නාලක ගුණවර්ධන අවධාරණය කරන උපායමාර්ගික පියවර හතක් (7 Steps of Strategic Communication) විශේෂ වේ.

  • පළමුව, “අපේ අරමුණ කුමක්ද?” යන්න පැහැදිලි කරගත යුතුය. දැනුවත් කිරීමද, ආකල්ප වෙනස් කිරීමද, නැතහොත් ප්‍රතිපත්ති මට්ටමේ වෙනසක්ද?
  • ඉන්පසු, “අමතන්නේ කාවද?” යන්න හඳුනා ගත යුතුය. ‘සාමාන්‍ය මහජනතාව’ යනුවෙන් නිශ්චිත මදිය., ගෘහනියන්, වෘත්තිකයන්, ගොවීන්, තරුණයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් වැනි නිශ්චිත කණ්ඩායම් වෙන්කර දැක්වීම අත්‍යවශ්‍ය වේ.
  • ඉන්පසු පණිවිඩය, බෙදා හරින ක්‍රමවේදය, කාලය, සම්පත් සහ අවසානයේ ඇගයීම යන සියලු පියවර නිවැරදිව සකස් කළ විට පමණක් සන්නිවේදනය සාර්ථක වේ.

නමුත් අද දවසේ විශාලම අභියෝගය වන්නේ “අවධානය” සීමිත වීමය. ආර්ථිකවේදී හර්බට් සයිමන් 1971 පෙන්වා දුන් පරිදි, “තොරතුරු බහුලත්වය අවධානයේ හිඟකමක් ඇති කරයි.” එය අද සමාජයේ පැහැදිලිව දක්නට ලැබේ.

මෙම තත්ත්වය තුළ “පශ්චාත්-සත්‍ය” (post-truth) සමාජයක් උදා වී ඇත. එහිදී මිනිසුන් සත්‍යය අනුව නොව, තමන්ගේ හැඟීම් සහ විශ්වාසයන්ට ගැලපෙන දේ පිළිගනී. කොවිඩ් සමයේ දැක ගත් “infodemic” තත්ත්වය එනම් ව්‍යාජ තොරතුරු වේගයෙන් පැතිරීම මෙයට පැහැදිලි උදාහරණයකි. තවද, බොහෝ දෙනා විද්‍යාව තමන්ට සම්බන්ධ නැති දෙයක් ලෙස සැලකීම හේතුවෙන් උදාසීනත්වයද වර්ධනය වී ඇත.

එම නිසාම, විද්‍යා සන්නිවේදනයට නව ක්‍රමවේද අවශ්‍ය වේ. දිගු ලිපි හා පැයක දේශන වෙනුවට, කෙටි, සරල සහ ආකර්ෂණීය පණිවිඩ අවශ්‍ය වේ. වචන 800ට අඩු ලිපි, මිනිත්තු කිහිපයක වීඩියෝ සහ ඉතා පැහැදිලි ඉන්ෆොග්‍රැෆික්ස් ආදිය මෙහිදී වැදගත් වේ. දෘශ්‍ය මාධ්‍ය හරහා සංකීර්ණ දත්ත සරල කර දැක්වීම, අද සාර්ථක සන්නිවේදනයේ මූලිකම රහසක් බවට පත්ව ඇත.

මෙවැනි පසුබිමක කෘත්‍රිම බුද්ධිය (AI) නව අවස්ථා ද ලබාදෙයි. දිගු විද්‍යාත්මක ලිපි කෙටි, ආකර්ෂණීය දෘශ්‍ය අන්තර්ගතයන් බවට පරිවර්තනය කිරීම වැනි කාර්යයන් අද මිනිත්තු කිහිපයකින් කළ හැකි වේ. එහෙත් ඒ සඳහා AI නිසි ලෙස මෙහයවීමට සන්නිවේදකයන් සිය කුසලතා දියුණු කර ගත යුතුය.

නිවැරදි සන්නිවේදනය නොමැති විට එහි ප්‍රතිවිපාක සෘජුවම මහජන ජීවිතයට බලපාන බව පැහැදිලිව දැකිය හැකිය. උදාහරණයක් ලෙස “ජීවනී” වැනි සෞඛ්‍ය නිෂ්පාදන භාවිතයේදී, පැකට්ටුවේ පිටුපස දී තිබෙන උපදෙස් පැහැදිලිව හා ප්‍රායෝගිකව සන්නිවේදනය නොකිරීම හේතුවෙන් බොහෝ දෙනා එය නිවැරදි ලෙස භාවිතා නොකරති.

ඒ අනුව, නිෂ්පාදනයේ අරමුණ සාර්ථක නොවීම පමණක් නොව, සෞඛ්‍ය ප්‍රතිලාභද අඩුවේ.

එසේම විදුලිය අරපිරිමැස්මට මහජනයා යොමු කර වීමට 2016 අප්‍රේල් මාසය මුලදී දියත් කළ “Protect Lanka” රාජ්‍ය කැම්පේනයේදී  විදුලිය වැඩිපුර වැයවන, අතිශයින් අකාර්යක්ෂම තාපදීප්ත බල්බයක් කැම්පේන් සංකේතයක් ලෙස භාවිතා කිරීම, ජනතාවට වැරදි හා ගැටළුකාරී පණිවිඩයක් ලබා දීමට හේතු විය.

මෙවැනි අවස්ථා පෙන්වා දෙන්නේ, පණිවිඩයේ අන්තර්ගතය පමණක් නොව, එය ඉදිරිපත් කරන ආකාරයද සමානව වැදගත් බවයි; එය වැරදුනහොත්, සන්නිවේදනය ජනතාව දැනුවත් කිරීම වෙනුවට ඔවුන්ව නොමග යැවීමට හෝ අධෛර්යමත් කිරීමට  හේතු විය හැකි බවයි.

සාර්ථක උදාහරණ

එහෙත්, සාර්ථක උදාහරණද ඇත. “Science with Ruchira” වැනි යූටියුබ් නාලිකාවන්, දෛනික ජීවිතයට සම්බන්ධ විද්‍යාව සරලව පැහැදිලි කිරීමෙන් මිලියන ගණනක ජනතාවක් වෙත ළඟා වීමට සමත් වී ඇත.

මෙයින් අපට ලැබෙන ප්‍රධාන පාඩම වන්නේ, විද්‍යාව ජනතාවට ළඟා වන විට පමණක් එය සම්පූර්ණ වන බවයි. “Science isn’t finished until it’s communicated” යන වාක්‍යය මෙහිදී විශේෂ වැදගත්කමක් ගනී. එහි අරුත විද්‍යාව සන්නිවේදනය කරන තුරු එහි කාර්යභාරය සම්පූර්ණ නොවන බවයි.

එම නිසා විද්‍යාඥයන් සහ සන්නිවේදකයන්, තමන්ගේ දැනුම මහජනයාට ඉදිරිපත් කිරීමේදී “බුද්ධිමය අහංකාරය” අත්හැර, සංවාදශීලී ආකාරයකින් සම්බන්ධ විය යුතුය. විශේෂයෙන්ම ව්‍යාජ විද්‍යාව පැතිරෙන අවස්ථාවලදී, නිවැරදි තොරතුරු ඉක්මනින් හා පැහැදිලිව ලබාදීම ඔවුන්ගේ වගකීමකි.

අවසාන වශයෙන්, ඩිජිටල් යුගයේ විද්‍යා සන්නිවේදනය යනු තොරතුරු පමණක් නොව, විශ්වාසය ගොඩනැගීම, අවධානය ලබා ගැනීම සහ සමාජය වෙනස් කිරීම පිළිබඳ නව සටනක් බව පැහැදිලි වේ.

Related articles

error: Content is protected !!