හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරාන යාත්‍රා (Fast boats) හතකට සිය හමුදාව ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඉරානය විසින් අවහිර කර ඇති මෙම මුහුදු මාර්ගයේ සිරවී ඇති නෞකා මුදාගැනීම සඳහා ඇමරිකාව ආරම්භ කළ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම අතරතුර මෙම ගැටුම් වාර්තා වී ඇත.
එමීර් රාජ්‍යයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන වරායක් වන ෆුජයිරා (Fujairah) වෙත එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් එහි දැවැන්ත ගින්නක් හටගෙන ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇත. එමීර් බලධාරීන් පවසන පරිදි ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් බැලැස්ටික් මිසයිල 12ක්, ක්‍රෲස් මිසයිල 3ක් සහ ඩ්‍රෝන යානා 4ක් විනාශ කිරීමට සමත් වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ දකුණු කොරියාව ද සිය නෞකාවලට ප්‍රහාර එල්ල වූ බව වාර්තා කළේය.
ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්, නෞකා මුදාගැනීමේ මෙහෙයුම
පසුගිය පෙබරවාරි මාසයේ සිට හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් නෞකා 2,000ක් පමණ සහ නාවිකයින් 20,000ක් පමණ ගල්ෆ් කලාපයේ සිරවී සිටිති. ඇමරිකානු ආරක්ෂාව යටතේ මෙලෙස සිරවී තිබූ ‘ඇලයන්ස් ෆෙයාර්ෆැක්ස්’ (Alliance Fairfax) නමැති ඇමරිකානු ධජය සහිත නෞකාව සාර්ථකව සමුද්‍ර සන්ධියෙන් පිටතට රැගෙන ආ බව ‘මර්ස්ක්’ (Maersk) නෞකා සමාගම තහවුරු කළේය.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ මෙම අර්බුදයට හමුදාමය විසඳුමක් නොමැති බවත්, ඇමරිකාවේ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” මෙහෙයුම මගින් අර්බුදය තවත් තීව්‍ර කරන බවත් ඇමරිකාව හමුදා බලය යොදා නෞකා මුදාගැනීමට උත්සාහ කළද, එමගින් දේශපාලනික අර්බුදයට විසඳුමක් නොලැබෙන බවයි.
බොරතෙල් මිල තවත් ඉහලට
මෙම ප්‍රහාරත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල (Brent Crude) සියයට 5කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය බැරලයක් ඩොලර් 115 ඉක්මවා ගොස් තිබේ.
බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළහ.
සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ඇති වී තිබෙන මානුෂීය අර්බුදය සහ නාවිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ලෝක ප්‍රජාව දැඩි කනස්සල්ල පළ කරන අතර, කටාර් රාජ්‍යය ඉල්ලා සිටින්නේ කිසිදු කොන්දේසියකින් තොරව මෙම මුහුදු මාර්ගය යළි විවෘත කරන ලෙසයි.


