28.3 C
Galle

“ප්‍රතිකාර ගන්න ගිය මිනිස්සු මැරුවේ ඇයි?”

Published:

වැසි වැටෙන සීතල උදෑසනක කාබුල් නගරයේ කඳු බෑවුමක පිහිටි සුසාන භූමියකට මසූඩා පැමිණෙන්නේ තම සහෝදරයා වූ මීර්වයිස්ගේ සොහොන සොයාගෙනය. එහෙත් ඔහුගේ සිරුර කොතැනක තැන්පත් කර ඇත්දැයි ඇය දන්නේ නැත. විශාල සමූහ මිනී වලක් ඉදිරියේ සිටින ඇයගේ දෑස් කඳුළින් පිරී යයි.

“මගේ මල්ලිගේ සිරුර කෑලිවලට කැඩිලා තිබුණා. හඳුනාගන්නත් බැරි තරම් දරුණුයි. අවසානයේ ඔහුගේ ශරීරයේ කොටසක් උපන් ලපයකින් තමයි හඳුනාගත්තේ” යැයි ඇය හඬා වැටෙමින් පවසයි.

මෙය සාමාන්‍ය යුද සිදුවීමක් නොවේ. 2026 මාර්තු 16 වැනිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ පිහිටි “ඔමිඩ්” මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයයි. එහිදී අවම වශයෙන් 269 දෙනෙකු මිය ගියහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා බොහෝ ඉහළ විය හැකි බවය.

මෙම ප්‍රහාරය මෑත ඇෆ්ගන් ඉතිහාසයේ සිදු වූ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකේ. තලේබාන් පාලනය, නේටෝ හමුදා සහ වසර 20ක යුද්ධයෙන් පවා නොදුටු තරමේ විනාශයක් එහිදී සිදුව තිබේ.

“රෝහලක් නොව සටන්කාමී කඳවුරක්” – පාකිස්තානය

ප්‍රහාරයට වගකිව යුතු බවට චෝදනා එල්ල වී ඇත්තේ පාකිස්තානයටය. එරට පවසන්නේ ඔවුන් ප්‍රහාර එල්ල කළේ “ත්‍රස්තවාදී යටිතල පහසුකම්” වෙත බවයි. “රෝහලක් හෝ සිවිල් මධ්‍යස්ථානයක් ඉලක්ක කළේ නැහැ” යනුවෙන් පාකිස්තාන හමුදාව ප්‍රකාශ කර තිබේ.

එහෙත් මියගිය අයගේ පවුල් එය ප්‍රතික්ෂේප කරති. ඔවුන් පවසන්නේ එහි සිටියේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවයි. ප්‍රතිකාර ලබමින් සිටි අය සාමාන්‍ය ජනතාව බවයි.

“එතැන යුද කඳවුරක් තිබුණේ නැහැ. ප්‍රතිකාර ගන්න ගිය අය තමයි හිටියේ” යැයි මසූඩා කෝපයෙන් පවසයි.

මාධ්‍යවේදීන් කතා කළ පවුල් 30කට අධික සංඛ්‍යාවක් ද මෙම ප්‍රකාශයම තහවුරු කර ඇත.

“මරණයත් එක්ක අපි හැමෝම ජීවත් වෙනවා”

“ඔමිඩ්” මධ්‍යස්ථානය 2016 වසරේදී ආරම්භ කර තිබූ අතර එය මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ප්‍රසිද්ධ ස්ථානයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එම ස්ථානය සමඟ කටයුතු කර තිබුණි.

ප්‍රහාරය සිදුවූ රාත්‍රියේ වෛද්‍යවරයෙකු පැවසුවේ බෝම්බ තුනක් එකවර මධ්‍යස්ථානයට වැටුණු බවයි.

“මම ජීවත්ව සිටින අය සොයමින් මළ සිරුරු අතර ඇවිද්දා. මනුෂ්‍ය මස් පිළිස්සෙන ගඳ හැමතැනම තිබුණා” යැයි ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව බොහෝ දෙනා මියගොස් ඇත්තේ ගිනි තුවාල සහ බෝම්බ කැබලි වැදීමෙන්ය. සමහර සිරුරු හඳුනාගැනීමටවත් නොහැකි තත්ත්වයට පත්ව තිබිණි.

“අපිට තිබුණේ දුප්පත්කම විතරයි”

මියගිය බොහෝ දෙනා දුප්පත් පවුල්වල පුද්ගලයන්ය. ඔවුන් බොහෝ දෙනා “Tablet-K” නම් කෘතිම මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටි අය බව පවුල් සාමාජිකයන් පවසති.

“මගේ සහෝදරයා විනෝදයට මත්ද්‍රව්‍ය ගත්තේ නැහැ. දුප්පත්කම නිසා ඔහු ඒ තත්ත්වයට වැටුණා” යැයි මොහොමඩ් අන්වර්ගේ සහෝදරයා වන සෙදික් පවසයි.

ඔහුගේ නිවසේ තවමත් තිබෙන්නේ වතුර බෝතල් විකිණීමට භාවිත කළ ත්‍රිරෝද රථයයි. දරුවන් හය දෙනෙකුගේ පියෙකු වූ ඔහු පවුල නඩත්තු කිරීමට නොහැකිව මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වී තිබුණි.

යුද අපරාධයක්ද?

මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් මෙම ප්‍රහාරය “විය හැකි යුද අපරාධයක්” ලෙස විමර්ශනය කළ යුතු බව පවසති.

තලේබාන් ආණ්ඩුවේ ප්‍රකාශක හම්දුල්ලා ෆිත්රත් පවසා ඇත්තේ “නිර්දෝෂී සිවිල් වැසියන් ඉලක්ක කිරීම යුද අපරාධයක්” බවයි.

එහෙත් පාකිස්තානය කියා සිටින්නේ ඇෆ්ගනිස්ථානය තුළ සිටින සටන්කාමී කණ්ඩායම් තම රටට ප්‍රහාර එල්ල කරන බවත්, ඒවාට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙවැනි මෙහෙයුම් සිදුකරන බවත්ය.

නැවතත් බියෙන් ජීවත්වන කාබුල් නගරය

2021දී යුද්ධය අවසන් වීමෙන් පසු කාබුල් නගරයේ ජනතාව යම් සාමකාමී ජීවිතයකට හුරු වෙමින් සිටියහ. එහෙත් මෙම ප්‍රහාරය සමඟ නැවතත් බිය සහ අනාරක්ෂිත බව ජනතාව අතර පැතිර ගොස් ඇත.

“අපි පීඩිත මිනිස්සු. අපිට ප්‍රතිචාර දක්වන්න බලයක් නැහැ. දෙවියන්ම මේක කළ අයට දඬුවම් දෙයි” යැයි මියගිය එක් පුද්ගලයෙකුගේ සහෝදරයෙකු පැවසීය.

කාබුල් නගරයේ කඳු මුදුනක ඇති සමූහ සොහොන ඉදිරියේ තවමත් මව්වරුන්, සහෝදරියන් සහ දරුවන් කඳුළු සලමින් සිටිති. ඔවුන්ගේ ප්‍රශ්නය එකම එකකි, “ප්‍රතිකාර ගන්න ගිය මිනිස්සු මැරුවේ ඇයි?”

Related articles

error: Content is protected !!