28.3 C
Galle

අයහපත් කාලගුණයෙන් එක් මරණයක් වාර්තා වෙයි, දුම්රිය සහ අධිවේගී මාර්ග ගමනාගමනයටත් බාධා

Published:

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ඉදිරි දින දෙක තුළත් දිවයිනේ පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවුවද ඉදිරි පැය 48 තුළ මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

ආපදා මරණයක්

මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රදේශයෙන් එක් ආපදා මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි. දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක පවුල් 62කට අයත් පුද්ගලයින් 203 දෙනෙකු අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිති. දැනට වාර්තා වී ඇති දත්ත අනුව නිවාස 39ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති අතර පුද්ගලයින් 17 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානයක රඳවා සිටී.

ප්‍රවාහන සේවා අඩාල වෙයි

අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ග සහ දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ,

වැලිපැන්න අන්තර් හුවමාරුව ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවන ස්ථානය සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දමා ඇත. කෙසේ වෙතත්, කොළඹ දෙසට ධාවනය වන බර වාහන සහ මාතර දෙසට ධාවනය වන සියලු වාහන සඳහා මාර්ගය විවෘතව පවතී.

තිල්අඩි ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කර ඇත. ඒ අනුව අද (13) සහ හෙට (14) කොළඹ කොටුව සිට ධාවනය වන දුම්රියන් හලාවත දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇත.

මහා මාන්කඩවල වැව යළි බිඳී යයි

අනුරාධපුර, කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහා මාන්කඩවල වැව අධික වර්ෂාව හේතුවෙන් යළිත් වරක් බිඳී ගොස් තිබේ. මීට පෙර ‘දිට්වා’ සුළි කුණාටු අවස්ථාවේදීද මෙම වැව බිඳී ගිය අතර එය තාවකාලිකව පිළිසකර කර තිබුණි. වැව බිඳී යාමෙන් පිටාර ගැලූ ජලය සහ වැලි හේතුවෙන් අක්කර සිය ගණනක වගාබිම් විනාශ වී ඇති බව ගොවීහු මැසිවිලි නඟති.

පවතින ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු සහ තද සුළං අනතුරු පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

පසු සටහන

අකුණු සහ විදුලි කෙටීම් සම්බන්දව ඔබ දැනගතයුතු සියල්ල සහ අකුණු විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරය සම්බන්දව අප විසින් සම්පාදනය කළ ලිපිය කියවන්න – “හෙන ගහපන්“ කිව්වට හෙන ගහන හැටි දන්නවද?- https://rata.lk/49363/

ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වීම සඳහා පෙර සූදානමක් වශයෙන් ගංවතුර පිරික්සුම් ලයිස්තුවක් සකස්කර ගන්න – https://rata.lk/48719/

හදිසි ආපදාවකින් ආරක්ෂා වීම සම්බන්දව අප සකස් කළ කෙටි වීඩියෝව නරඹන්න – https://www.facebook.com/reel/805629669257984

Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Instagram ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.

“අදම ඉගන ගන්න, හෙට ආරක්ෂා වන්න“

Related articles

error: Content is protected !!