දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට දිනය වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ වනවිට පවතින්නේ පෙර මෝසම් තත්ත්වයක් වන අතර මැයි 20 වනදා වනවිට නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින ආශ්‍රිතව ස්ථාපිත විය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ජලාශ රැසක වාන් දොරටු විවෘතයි
පවතින අධික වර්ෂාවත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 09ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 05ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 06ක්, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 06ක්, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 08ක්, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් සහ අලිකොටආර ජලාශයේ වාන් දොරටු 03ක් විවෘත කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපාආරච්චි මහතා පැවසුවේ ගංගා සහ ජලාශ ආශ්‍රිත ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි. කිරිඳිඔය, වලවේ, දැදුරුඔය, මල්වතුඔය, කැලණි සහ කළු ගංගාවල ජල මට්ටම් යම් ඉහළ යාමක් පෙන්නුම් කළද එය මෙතෙක් අනතුරුදායක මට්ටමකට ළඟා වී නොමැති බවද ඔහු සඳහන් කළේය.
නායයෑම් අවදානම් තවදුරටත් ක්‍රියාත්මකයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය ප්‍රදේශ සඳහාත් නිකුත් කර ඇති පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ තවමත් අස්ථාවර තත්ත්වයේ පවතින බැවින් කුඩා වර්ෂාපතනයකදී පවා නායයෑම් හා ගල් පෙරළීම් සිදුවිය හැකි බවයි.
ප්‍රදේශ කිහිපයක ගමනාගමනයට බාධා
ඊයේ රාත්‍රියේ පැවති අධික වැසි සමඟ පස්සර ප්‍රදේශයේ මාර්ගයකට විශාල ගසක් කඩා වැටී තිබූ අතර අවුකන – කැකිරාව මාර්ගය අවුකන විහාරස්ථානය අසලින් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි.
එමෙන්ම දෙල්තොට – ගලහ ප්‍රදේශයේ උඩ දෙල්තොට පාලම ගිලා බැසීම හේතුවෙන් ශ්‍රියාගම, බෙල්වුඩ් සහ තලාතුඔය හරහා මහනුවර දක්වා දිවෙන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.
පස්සර – මඩුගස්තලාව ගම්මානයට පිවිසීමට ගම්වාසීන් ඉදිකර තිබූ තාවකාලික පාලමද ලොග්ගල්ලා ඔය හරහා ගලා ආ ජල පහරත් සමඟ කැඩී ගොස් ඇති බව වාර්තා වේ.
හදිසි අවස්ථාවලදී 117 අමතන්න
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නායයෑම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් හදිසි අවස්ථාවකදී 117 හදිසි දුරකථන අංකය හෝ ආසන්න දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙසත්ය.
පසු සටහන
අකුණු සහ විදුලි කෙටීම් සම්බන්දව ඔබ දැනගතයුතු සියල්ල සහ අකුණු විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරය සම්බන්දව අප විසින් සම්පාදනය කළ ලිපිය කියවන්න – “හෙන ගහපන්“ කිව්වට හෙන ගහන හැටි දන්නවද?- https://rata.lk/49363/
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වීම සඳහා පෙර සූදානමක් වශයෙන් ගංවතුර පිරික්සුම් ලයිස්තුවක් සකස්කර ගන්න – https://rata.lk/48719/
හදිසි ආපදාවකින් ආරක්ෂා වීම සම්බන්දව අප සකස් කළ කෙටි වීඩියෝව නරඹන්න – https://www.facebook.com/reel/805629669257984
Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Instagram ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.
“අදම ඉගන ගන්න, හෙට ආරක්ෂා වන්න“


