හදිසියේම, නිල්වන් අහස කළු සළුවකින් වැසුවාක් මෙන් අඳුරු වී යයි. දුර බැහැර කඳු මුදුනක් පසුපසින් ගිගුරුම් හඬක් මෙන් ගොරෝසු හඬක් නැගී එයි. ඔබ ජනේලයෙන් පිටත බලයි. “ආ… වැස්සක් එනවා” යැයි සිතා නැවත ඔබේ කටයුත්තට යොමු වෙයි. නමුත් ඔබ නොදන්නා එක් කරුණක් ඇත. එය සාමාන්‍ය වැස්සක නිමිත්තක් පමණක් නොවේ. එය ස්වභාවධර්මයේ අති බලසම්පන්නම විදුලි ප්‍රහාරයක පෙර නිමිත්තක් විය හැකිය.
ඔබ ඇසිපිය ගසන කාලයටත් වඩා කෙටි මොහොතකින්, එනම් තත්පරයෙන් දහසෙන් පංගුවකදී (1/1000s) ඇම්පියර් 30,000ක විදුලි ධාරාවක් නිකුත් කරමින් අකුණක් අහසින් පහළට ඇදී එනු ඇත.
මදක් සිතා බලන්න, ඔබේ නිවසේ බල්බයක් ඇම්පියර් 1ක් පමණ භාවිතා කරයි. එහි උෂ්ණත්වය තත්පරයකින් 30,000°C දක්වා ඉහළ යයි, එනම් එය සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයට වඩා 5 ගුණයක් පමණ උණුසුම්ය. තත්පරයක් වත් නොගිය නමුත් එය ඔබගේ නිවසට, ඔබගේ ඉලෙක්ට්‍රොනික උපකරණවලට, නැතහොත් ඔබටම හානි කළ හැකිය.
යමකු අපට අවැඩක් සිදුකළ විට “හෙන ගහපන්” කියා අප කට වචනයට කියන්නෙමු. එහෙත් එහි භයානක කම දන්නවා නම් අප කිසිදිනක එසේ නොකියනු ඇත.
මෙම ලිපිය එක්තරා අනතුරු ඇඟවීමකි. අපි අද කතා කරන්නේ අහසේ දිස්වන ආලෝකමත් නමුත් මාරාන්තික සංසිද්ධියක් සම්බන්දව පමණක් නොවේ. අපගේ සාකච්ඡාවට ලක් වන්නේ ශ්‍රී ලංකාවේ සෑම මෝසම් කාලයකදීම නිවෙස්වලට රිංගා ගැටලු ඇති කරන සංසිද්ධි දෙකක් සම්බන්දවය.
ඒවා අකුණු (lightning) සහ විදුලි කෙටීම් (short circuits & power surges) නමින් හඳුන්වන සුලභ සංසිද්ධි දෙකයි. ඒවාට ඔබේ නිවසේ රූපවාහිනිය පුපුරවා හැරීමේ සිට ජීවිත අහිමි කිරීම දක්වා විනාශයක් සිදු කළ හැකිය.
නමුත් සුබ ආරංචිය නම්, නිවැරදි දැනුමකින් යුතුව ප්‍රවේශම්කාරීව කටයුතු කිරීමෙන් ඔබගේ ආරක්ෂාව තහවුරු තරගත හැකි වීමයි.
අකුණු හා ගිගුරුම් ඇතිවන්නේ කෙසේද? විද්‍යාව සරලව
අහසේ හදිසියේ ඇතිවන අකුණු එළිය සහ ඉන් පසු ඇසෙන ගිගුරුම් හඬ අපි බොහෝ දෙනෙක් අත්විඳිමු. නමුත් මෙම සංසිද්ධිය පිටුපස ඇති සිත්ගන්නාසුලු විද්‍යාව ආරම්භ වන්නේ කුණාටු වලාකුළක් තුළ බව ඔබ දන්නවාද?
ඔබ කවදා හෝ බැලූනයක් ඔබේ හිසකෙස් මත අතුල්ලා, එය බිත්තියට සමීප කළ විට ඇතිවන සියුම් ශබ්දය අත්විඳ තිබේද? එය ස්ථිති විදුලිය (static electricity) නම් සරල සංසිද්ධියකි. දැන් සිතන්න, එම කුඩා විදුලි කම්පනය බිලියන ගුණයකින් විශාල වුවහොත් කුමක් සිදුවේද? එයයි කුණාටු වලාකුළක් තුළ සිදුවන්නේ.

කුණාටු වලාකුළක් යනු ඉහල පහළ ගමන් කරන අයිස් කැට සහ ජල බිඳු වලින් පිරුණු යෝධ භාජනයකි. කුඩා අයිස් ස්ඵටික සැහැල්ලු නිසා ඉහළට ගමන් කරන අතර, බරැති හිම කැට හා ජල බිඳු පහළට වැටේ. ඒවා ගමන් කරන අතරතුර එකිනෙක ගැටෙයි, ඝර්ෂණය වේ. මෙම ඝර්ෂණය නිසා ඉලෙක්ට්‍රෝන නැවත සකස් වේ. එහි ප්‍රතිඵලය වන්නේ වලාකුළේ ඉහළ කොටස ධන ආරෝපණයක් (+ve) සහ පහළ කොටස සෘණ ආරෝපණයක් (–ve) ලබා ගැනීමයි.
මේ අතර පොළොවේ පෘෂ්ඨය, සෘණ ආරෝපිත වලාකුළු පතුලට ආකර්ෂණය වී ධන ආරෝපණයක් (+ve) ලබා ගනී. දැන් අහස සහ පොළොව අතර විශාලතම බැටරියක් නිර්මාණය වී ඇත. වළාකුළ සහ පොළව අතර වෝල්ටීයතාව මිලියන ගණනක් දක්වා ඉහල යයි. සාමාන්‍යයෙන් පරිවාරකයක් හෝ බාධකයක් ලෙස ක්‍රියා කරන වාතය ඉරී වළාකුලේ සිට පොළවට ක්ෂණයකින් ශක්තිය මුදා හරියි.
මෙයට ගතවන්නේ තත්පරයෙන් දහසෙන් එකක් තරම් කුඩා කාලයකි. වලාකුලේ එකතු වූ සියලු ශක්තිය එකවර මුදා හැරෙන මෙම සංසිද්දිය අපි අකුණු ලෙස හඳුන්වමු.
තවද, මෙම ගමන් මාර්ගයේ වාතය 30,000°C දක්වා ඉහල උෂ්ණත්වයකට රත් වන බැවින් එය හදිසියේ ප්‍රසාරණය වේ. එම ප්‍රසාරණය නිර්මාණය කරන කම්පන තරංගය (shock wave) වාතය හරහා ගමන් කරයි. ගිගුරුම් හඬ ලෙස අපට ඇසෙන්නේ එයයි. ආලෝකය ශබ්දයට වඩා වේගයෙන් ගමන් කරන නිසා, අපි මුලින් අකුණ දැක පසුව ගිගුරුම් හඬ අසන්නෙමු.
අකුණු වර්ග තුනක්



අකුණු වර්ග තුනක් අහසේ දිස්වනු ඔබ නිරීක්ෂණය කර තිබේද? මේවා කටු අකුණු, තහඩු අකුණු සහ ගෝල අකුණු ලෙස හැඳින්විය හැකිය.
ෆෝක් ලයිට්නින් (Fork Lightning) හෙවත් කටු අකුණු යනු අප බොහෝ දෙනෙක් දන්නා අකුණු වර්ගයයි. වලාකුළක සිට පොළොවට කෙළින්ම ඇදී එන, කරකැවුණු කෙටි මාර්ගයක් ගන්නා මෙම අකුණු වර්ගය වඩාත් භයානකය. ඊට හේතුව එයට පොළොවේ සිටින ඔබට, ගසකට, ගොඩනැගිල්ලකට කෙලින්ම පහර දිය හැකි වීමයි.
ෂීට් ලයිට්නින් (Sheet Lightning) හෙවත් තහඩු අකුණු ඇතිවන්නේ වලාකුළක් තුළ හෝ වලාකුළු දෙකක් අතරය. මෙහිදී අහස මුළුමනින්ම ආලෝකමත් වන දීප්තියක් ඔබට පෙනෙනු ඇත. සම්පූර්ණ අහසම තහඩුවක් මෙන් බැබලේ. බොහෝ විට මෙය දුරින් වර්ධනය වන කුණාටුවක ආලෝකය වන අතර, එයින් පොළොවට කෙලින්ම තර්ජනයක් නොමැති වුවත්, එය ඔබ දෙසට ලඟා වන කුණාටුවක පෙර නිමිත්තක් විය හැකිය.
බෝල් ලයිට්නින් (Ball Lightning) හෙවත් ගෝල අකුණු යනු භෞතික විද්‍යාව පවා සම්පූර්ණයෙන් පැහැදිලි කර නැති සංසිද්ධියකි. එය දිලිසෙන විදුලි ගෝලයක ස්වරූපය ගනී. ගිනි බෝලයක් මෙන් දිස්වේ. මෙය වාතයේ පාවෙමින්, සමහර විට ගොඩනැගිලි තුළට පවා ඇතුළු වන බවට වාර්තා වේ. එය ඉතා දුර්ලභ නිසා බොහෝ දෙනෙක් එය දැක නැත. නමුත් එහි පැවැත්ම අපට මතක් කර දෙන්නේ ස්වභාවධර්මයේ තවමත් අප නොදන්නා බොහෝ රහස් ඇති බවයි.
විදුලි කෙටීමක් යනු කුමක්ද? නිවසේ සැඟවුණු සතුරා
අකුණු අපට පෙනෙන තර්ජනයක් නම්, විදුලි කෙටීම් (short circuits) හා විදුලි රැළි (power surges) යනු නිවස තුළ සැඟවී සිටින නිහඬ සතුරන් ලෙස සඳහන් කළ හැකිය.
විදුලි කෙටීමකදී වෙන්නේ, විදුලිය ගමන් කරන සාමාන්‍ය මාර්ගය අතහැර, හදිසියේම කෙටි සහ අඩු ප්‍රතිරෝධයක් ඇති වෙනත් මාර්ගයකින් ගලා යාමයි. මෙය බොහෝවිට විදුලි වයර් එකිනෙකට ස්පර්ශ වීම, වයර්වල ආවරණය කැඩී යාම, තෙතමනය ඇතුළු වීම, හෝ ලෝහමය වස්තුවක් ගැටීම වැනි හේතු නිසා සිදු වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක විදුලි ධාරාව අධික ලෙස ගලා යාමෙන් ගිනි ගැනීම්, උපකරණ හානි වීම, සහ ජීවිත අවදානම් ද ඇතිවිය හැක.
ඒ නිසා විදුලි උපකරණ ආරක්ෂිතව භාවිතා කිරීමත්, දෝෂ ඇති වයර් හෝ plug වහාම සකස් කිරීමත් අත්‍යවශ්‍යයි.
පවර් සර්ජ් එකක් යනු විදුලි රැහැනක් හරහා හදිසියේ ඉහළ වෝල්ටීයතා රැල්ලක් ගමන් කිරීමයි. අකුණු පහරක් විදුලි කණුවක් අසල පොළොවට වැදුනහොත්, එම අතිවිශාල ශක්තිය රැහැන් හරහා ඔබේ නිවසට ඇතුළු විය හැක. එවිට ඔබේ පරිගණකය, රූපවාහිනිය, ශීතකරණය එක මොහොතකින් විනාශ වී යා හැකිය.
ශ්‍රී ලංකාවේ අවදානම් කාල මොනවාද?
ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වශයෙන් වසර පුරාම අකුණු ක්‍රියාකාරකම් සහිත කලාපයකි. නමුත් සමහර මාසවලදී මෙම තර්ජනය අතිශයින් ඉහළ යයි. පළමු අන්තර් මෝසම් කාලය වන මාර්තු සිට අප්‍රේල් දක්වා දිවයින පුරා අකුණු ප්‍රමාණය ඉහළම අගයක් ගනී. විශේෂයෙන් අප්‍රේල් මාසය යනු ‘අකුණු සඳහා උච්චතම මාසය’ ලෙස සැලකිය හැක.
මැයි සිට සැප්තැම්බර් දක්වා මෝසම් සමයේදී සවස් කාලයේ බටහිර, සබරගමුව, දකුණු පළාත්වල අකුණු සහිත වැසි බහුලව ඇතිවේ. දෙවන අන්තර් මෝසම් කාලය වන ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා උතුරු, නැගෙනහිර, සහ ඌව පළාත් වාසීන් විශේෂයෙන් සුපරීක්ෂාකාරී විය යුතුය.
අවදානමේ තරම අධ්‍යයනයක් ඇසුරින්
ශ්‍රී ලංකාවේ අකුණු අනතුරු කාලයත් සමඟ කැපී පෙනෙන ලෙස වැඩිවී ඇති බව, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ පර්යේෂකයන් දෙපලක් විසින් 2021 වසරේදී ප්‍රකාශයට පත්කළ අධ්‍යයනයක් අනාවරණය කරයි. මහේෂ් එදිරිසිංහ සහ උරුවිටිය ගමගේ ඩිලාජ් මදුරංග යන පර්යේෂකයන්ගේ මෙහෙයවීමෙන් සිදු කළ මෙම අධ්‍යයනය, වසර 46ක කාලයක් ආවරණය කරමින් රට තුළ අකුණු අනතුරු පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදෙයි.
1974 සිට 2019 දක්වා කාලය තුළ එකතු කරගත් දත්ත අනුව, අකුණු අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 549ක් සහ තුවාල 498ක් වාර්තා වී ඇත. එමෙන්ම නිවාස 39ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 741කට හානි සිදුව තිබේ. වාර්ෂික සාමාන්‍යයක් ලෙස සලකා බැලූ විට, සෑම වසරකම පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන අතර තවත් 11 දෙනෙකු පමණ තුවාල ලබන බව පෙනී යයි.
විශේෂයෙන්ම අප්‍රේල් මාසය අකුණු අනතුරු සඳහා ඉතා අවදානම් සහිත කාලයක් ලෙස හඳුනාගෙන ඇති අතර සෘතු අනුව සලකා බැලූ විට, මාර්තු සිට අප්‍රේල් දක්වා පළමු අන්තර් මෝසම් සමය තුළ වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන බව ද මෙම අධ්‍යයනයෙන් හෙළි වේ.
රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක අකුණු අනතුරු හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය වැඩිම තුවාල ලැබූවන් වාර්තා වූ ප්‍රදේශය වන අතර, කෑගල්ල දිස්ත්‍රික්කය දේපළ හානි වැඩිම ලෙස සිදුවූ ප්‍රදේශය ලෙස සඳහන් වේ. මෙය ප්‍රදේශ අනුව අවදානම් මට්ටම් වෙනස් වන බව පැහැදිලි කරයි.
විශේෂයෙන්ම 2000 වසරෙන් පසු කාලය තුළ අකුණු අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද පර්යේෂණය පෙන්වා දෙයි. සමස්ත මරණ සංඛ්‍යාවේ 67%කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මෙම අවසන් වසර 20 තුළදීය. මෙය රට තුළ පවතින පරිසර හා සමාජමය වෙනස්කම්වල බලපෑමක් ලෙස දක්නට ලැබේ.
අකුණු අනතුරු වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු අතර, රටේ වාර්ෂික අකුණු ඝනත්වය ඉහළ යාමද වැදගත් වේ. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටරයකට අකුණු 8කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර, අප්‍රේල් මාසයේදී එය 31ක් දක්වා ඉහළ යයි. විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා එළිමහන්ව වැඩ කරන පුද්ගලයන් මෙම අවදානමට වැඩි වශයෙන් ගොදුරු වීම ද සටහන් කර ඇත.
එමෙන්ම ජනගහන වර්ධනය, නාගරීකරණය වේගවත් වීම සහ විද්‍යුත් උපකරණ භාවිතය වැඩිවීම ද මෙම අනතුරු සංඛ්‍යාව ඉහළ යාමට හේතු විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙයි. මේ සියල්ල එකට ගත් විට, අකුණු අනතුරු යනු හුදෙක් ස්වභාවික සිද්ධියක් පමණක් නොව, සමාජය සහ පරිසරය අතර ඇති වෙනස්කම් සමඟ ගැඹුරු ලෙස සම්බන්ධ වූ අවදානමක් බව මෙම අධ්‍යයනය පැහැදිලි කරයි.


ආරක්ෂාවට පියවර
නිවසේ සිටින විට අකුණු ගැසීම ආරම්භ වූ විට, ඔබ කළ යුතු පළමු දෙය නම් නිවසේ විදුලි පේනු (ප්‍ලග්) ගැලවීමයි.
Surge protector සහිත බහු පේනු භාවිතා කිරීම සුදුසුම ක්‍රමය වන අතර ඒවා ඔබේ උපකරණ සඳහා ආරක්ෂිත බාධකයක් ලෙස ක්‍රියා කරයි. හැකි නම් වටිනා උපකරණ සඳහා UPS (Uninterruptible Power Supply) එකක් යොදා ගන්න.
අකුණු ගසන විට ස්ථාවර දුරකථන භාවිතයෙන් වළකින්න. එහි රැහැන් හරහා අකුණු ධාරාව ඔබ වෙත පැමිණිය හැක.
ස්නානය කිරීම, දත්මැදීම, පිඟන් සේදීම පවා අකුණු ක්‍රියාකාරකම් අතරතුර අනතුරුදායක විය හැකියි. මන්ද? ජල නල හා ලෝහමය වයර් බිමට සම්බන්ධ බැවිනි. ඔබ ජලය සමඟ සිටින විට, ඔබ අකුණු ධාරාවට මාර්ගයක් බවට පත්වේ.
අකුණු සුරක්ෂකයක් (lightning arrester) නිවසේ වහලයේ සවිකර ඇත්නම් එය අකුණු පහරක ශක්තිය කෙලින්ම බිමට හරවා යවයි. එමගින් අකුණේ විදුලිය නිවස තුළට ගලා ඒම වළක්වා ගත හැකිය.
ඔබ එළිමහනේ සිටින විට එනම් ගොවි බිමක, ක්‍රීඩා පිට්ටනියක, මුහුදු වෙරළක හෝ විවෘත මාර්ගයක ගමන් කරමින් සිටින අවස්ථාවක අකුණු ක්‍රියාකාරකම් ආරම්භ වූයේ නම් ඔබ ඉතා අවදානම් සහගත තත්ත්වයක සිටී.
එළිමහන් ස්ථානයක ඔබ උසම වස්තුව නොවන්න යන්න ප්‍රධාන රීතියයි. එනම් උස් ගස්, විදුලි කණු, ජංගම දුරකථන කුළුණු, ක්‍රිකට් පිටියේ කඩුලු ආදී මේ සියල්ල අකුණු ආකර්ෂණය කරයි. ඒවා අසල සිටීම ඔබේ ජීවිතය අවදානමට ලක් කිරීමකි.
විවෘත භූමියක සිටිනවා නම්, පාද එකතු කර වාඩි වන්න. හිස පහත් කරගන්න. කිසිසේත් බිම වැතිරෙන්න එපා! වැතිරීමෙන් බිම් ධාරාව (ground current) ඔබේ ශරීරයේ දිගටම විශාල වශයෙන් ගමන් කිරීමට ඉඩ සලසයි. බොහෝ අකුණු මරණ සිදුවන්නේ සෘජු පහරින් නොව, බිම් ධාරාවෙන් බව ඔබ දන්නවාද?
වාහනයක් ඇතුළත සිටීම ආරක්ෂිතයි. වාහනයේ ලෝහමය කොටුව (metal cage) ඔබ වටා ආරක්ෂිත කූඩුවක් සාදයි (Faraday cage effect). නමුත් වාහනයේ දොරවල්, ජනේල, ඇන්ටනාව වැනි ලෝහ කොටස් ස්පර්ශ නොකරන්න. වාහනය නවතා රැඳී සිටින්න.
විදුලි රැහැනක් කැඩී වැටුණු විට එය ජීවිතය හා මරණය අතර ඇති සියුම් රේඛාව ලෙස වටහා ගන්න. කුණාටුවකින් පසු, විදුලි රැහැනක් කැඩී බිම වැටී ඇතැයි සිතන්න. එම ස්ථානයෙන් අවම වශයෙන් මීටර් 10ක් දුරින් සිටීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. බිම වැතිර සිටින රැහැනක් අවට මීටර් 10ක් දුර ප්‍රදේශයක් ‘වෝල්ටීයතා කේන්ද්‍රස්ථානයක්’ බවට පත්විය හැක. ඔබේ පාද දෙක අතර ඇති කුඩා දුර ප්‍රමාණය පවා මාරක විදුලි ධාරාවක් ඔබේ ශරීරය හරහා ගලා යාමට ප්‍රමාණවත්ය.
එක් පාදයක් පමණක් භාවිතා කර පිම්මක් ගසමින් හෝ ඉතා කුඩා පියවර ගනිමින් (දෙපා එකට තබාගෙන) ආරක්ෂිත ස්ථානයකට යන්න.


වහාම 1919 (ලංකා විදුලිබල මණ්ඩලය) හෝ 119 (පොලිසිය) අමතන්න. අනෙක් අයට අනතුරු අඟවන්න. කිසිම තෙත් වස්තුවක්, ලෝහ කූරක්, හෝ රෙදි කඩක් රැහැන අසලට ගෙන නොයන්න.
ප්‍රථමාධාර
අකුණු හෝ විදුලි සැර වැදුනු පුද්ගලයෙකු ඔබ ඉදිරියෙහි නම් ඔහුගේ ජීවිතය රඳා පවතින්නේ ඔබේ ක්‍රියාවන් තුළ බව අවබෝධ කර ගන්න. අකුණු සැර වැදුනු පුද්ගලයෙකු ස්පර්ශ කිරීමට බිය නොවිය යුතු බව හොඳින් මතක තබා ගන්න. ඔවුන් තුළ විදුලි ආරෝපණයක් රැඳී නැත. ඔවුන් විදුලිය ‘රැගෙන’ නොසිටී.
මෙහිදී ඔබට ගතහැකි පියවර කිහිපයකි.
පළමුව ඔබ වහාම 1990 (ජාතික හදිසි ඇමතුම් අංකය) ඇමතිය යුතුය. ගිලන් රථය එන තුරු ඔබට කළ හැකි ක්‍රියා කිහිපයකි. අකුණු පහරකින් හදවත නතර වීමට ඉඩ ඇති බැවින් දෙවනුව ඔබ කළ යුත්තේ රෝගියාගේ හුස්ම සහ ස්පන්දනය පරීක්ෂා කිරීමයි.
හුස්ම ගන්නේ නැතිනම්, හෘද පුනර්ජීවනය (CPR) ආරම්භ කරන්න. පපුව මැදට විනාඩියකට 100-120 වතාවක් බැගින් ඔබේ අත්දෙක එකතු කර තද කරන්න. අකුණු වැදුණු බොහෝ දෙනෙක් වහා CPR ලබා දුන් විට බේරා ගත හැකිය.

විදුලි සැර වැදුනු පුද්ගලයෙකු සඳහා පළමුව කළ යුත්තේ විදුලි ප්‍රභවය විසන්ධි කිරීමයි. ප්‍රධාන ස්විචය වසා දමන්න, නැතිනම් වියළි ලී කූරක් භාවිතා කර විදුලි රැහැන ඉවත් කරන්න. ඉන්පසුව පමණක් රෝගියා ස්පර්ශ කරන්න සිහි තබා ගන්න.
පිළිස්සුම් තුවාල පිරිසිදු වියළි රෙද්දකින් ආවරණය කරන්න, කිසිම ක්‍රීම් එකක්, බටර් වැන් දේ ගාන්න එපා. වහා ප්‍රථමාධාර ලබාදී වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කරන්න.
හදිසි ඇමතුම් අංක
ඔබගේ ඇඟිලි තුඩුවල ඇති ගැලවීම ගැන ඔබ දන්නේද? අනිවාර්යයෙන්ම, ජාතික හදිසි ඇමතුම් සේවාව (1990), ලංකා විදුලිබල මණ්ඩලය (1919), පොලිස් හදිසි ඇමතුම් සේවය(119), ජාතික ගිනි හා ආපදා සේවා (110), මෙම අංක ඔබගේ ජංගම දුරකථනයේ සුරැකිව තබා ගන්න.
අකුණු පිළිබඳ පවතින මිත්‍යා මත
අකුණු සහ විදුලි කෙටීම් පිළිබඳව සමාජයේ විවිධ වැරදි මත (මිත්‍යා) මුල්බැසගෙන ඇත. බොහෝ දෙනෙක් සිතන්නේ අකුණක් එකම ස්ථානයකට දෙවරක් වදින්නේ නැති බවයි. නමුත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. ඇමරිකාවේ එම්පයර් ස්ටේට් වැනි උසැති ගොඩනැගිලි වසරකට 25 සිට 100 වතාවක් පමණ අකුණු ප්‍රහාරයන්ට ලක්වේ.
එමෙන්ම, අකුණු අනතුරුදායක වන්නේ වැසි වසින විට පමණක් යැයි සිතීමත් වැරදිය. වැසි වලාකුළකට සැතපුම් 25ක් තරම් දුරින් පිහිටි නිල්වන් අහසක වුවද, හදිසියේම අකුණු පහරවල් එල්ල විය හැකිය.
හෙඩ්ෆෝන් පැළඳීම අකුණු ආකර්ෂණය කිරීමට හේතුවක් නොවන නමුත්, අකුණක් වැදුනහොත් හෙඩ්ෆෝන් රැහැන් හරහා විදුලිය ගමන් කිරීමෙන් ශරීරයේ දරුණු පිළිස්සුම් ඇතිවිය හැකිය.
කාලගුණ අනාවැකිවලදී පැවසෙන ‘30/30 රීතිය’ (අකුණ දැක තත්පර 30ක් තුළ ගිගුරුම ඇසුනහොත් ආරක්ෂිත ස්ථානයකට යන්න) වර්තමානයේ විශේෂඥයන් නිර්දේශ නොකරයි. ඒ වෙනුවට, ඕනෑම ගිගුරුම් හඬක් ඇසුණු වහාම ආරක්ෂිත ස්ථානයකට යෑම වඩාත් සුදුසුය.
වාහනයක සිටීම ආරක්ෂිත වන්නේ එහි රබර් ටයර් නිසා නොව, එය සම්පූර්ණයෙන්ම ආවරණය වූ ලෝහමය කුටීරයක් වන බැවිනි. එමෙන්ම, නිවසක් තුළ සිටීම වඩාත් ආරක්ෂිත වුවත්, අකුණු ගසන විට ස්ථාවර දුරකථන, විදුලි උපකරණ සහ ජල නල පද්ධතිය භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. මන්ද, එම මාර්ග හරහා විදුලි ධාරාව නිවස තුළට ගලා යා හැකි බැවිනි.
අකුණු සැර වැදුණු පුද්ගලයෙකු තුළ විදුලි ආරෝපණයක් රැඳී පවතින බවට ඇති මතය වැරදිය. එබැවින් එවැනි පුද්ගලයෙකු ස්පර්ශ කිරීමට හෝ ප්‍රථමාධාර ලබා දීමට බිය විය යුතු නැත.
එළිමහනේ සිටින විට අකුණු ගසන්නේ නම් බිම දිගා වීම වෙනුවට ‘අකුණු ආසනය’ (lightning crouch) ඉරියව්වෙන් සිටීම වඩාත් සුදුසුය. එය බිම් ධාරාවෙන් සිදුවන හානිය අවම කරයි. ්අ
වසාන වශයෙන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සරුංගලයක් යොදාගෙන අකුණු යනු විදුලිය බව ඔප්පු කළ පුවත ද වර්තමානයේ සමහර විශේෂඥයන් ප්‍රශ්න කරන මිත්‍යාවකි.
දැනුම ඔබගේ පලිහයි

අකුණු සහ විදුලි කෙටීම් යනු අපට වැළැක්විය නොහැකි ස්වභාවික සංසිද්ධි වේ. අපට අකුණු පහරක් නවතා දැමිය නොහැක. නමුත් එයින් සිදුවන හානිය අවම කර ගැනීමට අපට හැකියාව ඇත.
සරලව කිවහොත් Surge protector එකක්, එළිමහනේදී ආරක්ෂිතව සිටීමේ පුරුද්දක්, ඔබේ දරුවන්ට අකුණු ගැන අවබෝධයක්, ජංගම දුරකථනයේ සුරැකි හදිසි ඇමතුම් අංක වැනි කුඩා පියවර ඔබේ ජීවිතය ආරක්ෂා කරාවි.
“ගිගුරුම් හඬ ඇසුණු මොහොතේ සිට තත්පර 30ක් ඇතුළත අකුණු පහර එල්ල විය හැකි බව අපි දනිමු. එම තත්පර 30 තුළ ඔබ ගන්නා තීරණය , නිවසට දුවනවාද, ගසක් යට රැඳෙනවාද, නැතහොත් බිම වාඩි වෙනවාද – එය ඔබේ ජීවිතයේ අවසාන තීරණය විය හැකිය. එබැවින් කල්තියා සූදානම් වන්න. අදම ඉගෙන ගන්න. හෙට ආරක්ෂා වන්න.”
Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Twitter ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.


