28.9 C
Galle

ගංවතුර අවදානමක් නොවෙයි, එය ජීවිතය සහ මරණය අතර තීරණයක්! ගංවතුරෙන් ජීවිත දේපල රැකගමු

Published:

හිරු සැඟව ගොස් හදිසියේම හාත්පස අඳුරු වී යයි. වැසි ඇදහැලෙන්නට පටන් ගනී. දින ගණනාවක් නොනවත්වා ඇද හැලෙන වැසි නිසා ගංගා, ඇළ දොළ සහ ජලාශ සියල්ලක්ම ඉවුරු මට්ටම ඉක්මවා උතුරා යන්නට පටන් ගනී. පැය කිහිපයකට පසුව, දරුවන් සෙල්ලම් කළ මිදුල, වාහන නවතා තිබූ පාර සහ ජීවිත කාලයක් පුරා වෙහෙස මහන්සියෙන් ගොඩනැගූ නිවස මඩ මිශ්‍ර දුඹුරු ජල කඳක් යට සැඟවී යයි. එක් මොහොතකදී සාමාන්‍ය ලෙස ගලා ගිය ජීවිතය, තවත් මොහොතකදී බේරාගැනීමේ සටනක් බවට පත්වන්නේ එලෙසය.

ශ්‍රී ලංකාවට ගංවතුර යනු අමුතු අත්දැකීමක් නොවේ. නිරිත දිග සහ ඊසාන දිග මෝසම් වැසි සමඟ සෑම වසරකම දිවයිනේ විවිධ ප්‍රදේශ ගංවතුර අවදානමට ලක් වේ. කැළණි, කළු, ගිං, නිල්වලා සහ මහවැලි ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන දහස් ගණන් ජනතාවට වැසි සමය යනු කෘෂිකාර්මික වාසියක් පමණක් නොව, බිය සහ අවිනිශ්චිතභාවය ද රැගෙන එන කාල පරිච්ඡේදයකි. පසුගිය දශකය තුළ සිදුවූ දරුණු ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ජීවිත රැසක් අහිමි වූ අතර, නිවාස දහස් ගණනක් විනාශ වී, කෝටි ගණන් වටිනා දේපළ හා වගාබිම් ජලයෙන් යට විය. ඇතැම් පවුල්වලට තමන්ගේ සම්පූර්ණ ජීවිතයේම එකතු කළ වත්කම් පැය කිහිපයක් ඇතුළත අහිමි වූ අවස්ථා ද වාර්තා වී තිබේ.

එහෙත් ගංවතුරක භයානකම පැත්ත වන්නේ ජලය පමණක් නොවේ. විදුලි සැර වැදීම්, නායයෑම්, සර්ප දෂ්ටන, මී උණ, පාචනය සහ පානීය ජලය දූෂිත වීම වැනි ද්විතීයික අවදානම් බොහෝවිට ඇතිවේ. ඇතැම් අවස්ථාවල ජලය බැස ගිය පසුව පවා මිනිස් ජීවිත බිලි ගනී. බොහෝ විට මරණ හා බරපතළ අනතුරු සිදුවන්නේ ගංවතුරේ ප්‍රබලත්වය නිසා නොව, ඒ පිළිබඳ නිවැරදි දැනුමක් නොමැතිකම, අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සහ අවසන් මොහොත දක්වා ප්‍රමාද වීම හේතුවෙනි.

ආපදාවක් සැමවිටම ඛේදවාචකයක් විය යුතු නැත. ලොව පුරා සිදුකර ඇති පර්යේෂණ පෙන්වා දෙන්නේ ගංවතුරකදී ජීවිත බේරාගැනීමේ ප්‍රධාන සාධකය වන්නේ ව්‍යසනය පැමිණෙන මොහොතේ ගන්නා තීරණ නොව, එයට පෙර සිදුකර ඇති සූදානම බවයි. නිවැරදි තොරතුරු, කල්තියා සැලසුම් කිරීම, පවුලේ සාමාජිකයන් අතර සන්නිවේදනය සහ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම මගින් බොහෝ ජීවිත සහ දේපළ ආරක්ෂා කරගත හැකිය. ගංවතුරක් ඉදිරියේ මිනිසාට ස්වභාවධර්මය පරාජය කළ නොහැකි වුවද, එයට මුහුණ දීමට අවශ්‍ය දැනුම සහ සූදානම ඇති විට එහි බලපෑම සැලකිය යුතු ලෙස අවම කරගත හැකිය.

මෙම විශේෂාංග ලිපියෙන් ගංවතුරකට පෙර, ගංවතුර අතරතුර සහ ගංවතුරෙන් පසු ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරගත යුතු ආකාරය, සැබෑ ජීවිත අත්දැකීම් සහ විද්‍යාත්මක උපදෙස් ඔබට ලබාදීමට අපේක්ෂා කරමු.

ශ්‍රී ලංකාවේ ගංවතුර අවදානම

ශ්‍රී ලංකාව ස්වභාවික ආපදාවන්ට නිරන්තරයෙන් මුහුණ දෙන රටක් වන අතර, ඒ අතරින් ජන ජීවිතයට සහ ආර්ථිකයට වැඩිම බලපෑමක් එල්ල කරන්නේ ගංවතුර තත්ත්වයන්ය. අධික වර්ෂාපතනයත් සමඟ ගංගා සහ ඇළ දොළ උතුරා යාමෙන් වාර්ෂිකව දහස් ගණන් පවුල් අවතැන් වන අතර නිවාස, වගාබිම් සහ යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදු වේ. ගංවතුරට අමතරව නායයෑම්, තද සුළං, නියඟය, අකුණු අනතුරු සහ මුහුදු රළ තත්ත්වයන් ද ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් වාර්තා වන ප්‍රධාන ස්වභාවික ආපදා ලෙස සැලකේ. කෙසේ වෙතත්, මිනිස් ජීවිත සහ දේපළවලට බලපාන ප්‍රමාණය අනුව ගංවතුර තවමත් ප්‍රමුඛතම අවදානමක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ නිසාම ගංවතුර සඳහා පූර්ව සූදානම සහ ජනතාවගේ දැනුවත්භාවය ඉතා වැදගත් වේ.

සටහන: ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් බලපෑමට ලක්වන ස්වභාවික ආපදාව ගංවතුරයි.

ගංවතුරක් එන්න කලින්

ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් වූ විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ජලය නිවසට ඇතුළු වීමට පටන් ගත් පසුව කළ යුතු දේ පිළිබඳවය. එහෙත් ආපදා කළමනාකරණ විශේෂඥයන් අවධාරණය කරන්නේ ගංවතුරකදී ජීවිත හා දේපළ ආරක්ෂා වීම බොහෝ දුරට තීරණය වන්නේ ව්‍යසනය පැමිණීමට පෙර ගන්නා පියවර මත බවයි. ගංවතුරක් හදිසියේ ඇති වන ආපදාවක් ලෙස පෙනුනද, බොහෝ අවස්ථාවලදී අධික වර්ෂාපතනය, ගංගාවල ජල මට්ටම් ඉහළ යාම සහ කාලගුණික අනතුරු ඇඟවීම් මගින් එහි අවදානම පිළිබඳ පූර්ව සංඥා ලැබේ. එම නිසා නිවැරදි තොරතුරු ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම ජීවිත බේරාගැනීමේ පළමු පියවර වේ.

ඔබ ජීවත් වන්නේ ගංගා, ඇළ දොළ හෝ ජලාශ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශයක නම්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදන නිරන්තරයෙන් නිරීක්ෂණය කළ යුතුය. වර්තමානයේ ජංගම දුරකථන, සමාජ මාධ්‍ය සහ රූපවාහිනී නාලිකා හරහා තොරතුරු ඉතා ඉක්මනින් ලැබෙන බැවින් ඒවා නොසලකා හැරීම අනතුරකට අත වැනීමක් විය හැකිය. බොහෝ ගංවතුර මරණ වාර්තා වී ඇත්තේ අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් අවදානම අවතක්සේරු නොකිරීම හේතුවෙනි.

එසේම පවුලේ සියලු දෙනා දන්නා හදිසි සැලැස්මක් කල්තියා සකස් කර තිබීම අත්‍යවශ්‍ය වේ. ගංවතුර තත්ත්වයක් උද්ගත වුවහොත් යා යුතු ආරක්ෂිත ස්ථානය, භාවිත කළ යුතු මාර්ගය සහ එකිනෙකා සම්බන්ධ කරගන්නා ආකාරය පිළිබඳව පවුලේ සාමාජිකයන් දැනුවත් විය යුතුය. විශේෂයෙන් කුඩා දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් සිටින පවුල් සඳහා මෙම සැලසුම වඩාත් වැදගත් වේ. ප්‍රදේශයේ පන්සල, පාසල හෝ සහන කඳවුර පිහිටුවන ස්ථානය කල්තියා හඳුනාගෙන තැබිය යුතුය.

ගංවතුර අවදානමක් ඇති බවට දැනුම් දුන් වහාම අත්‍යවශ්‍ය ලියකියවිලි, මුදල්, ඖෂධ, ජංගම දුරකථන ආරෝපක, පානීය ජලය සහ වියළි ආහාර ඇතුළත් හදිසි බෑගයක් සූදානම් කර තැබීම සුදුසුය. නිවසේ ඇති වටිනා උපකරණ, විදුලි භාණ්ඩ සහ වැදගත් ලිපි ලේඛන ජලයට නොතෙමෙන පරිදි උස් ස්ථානයක තැන්පත් කළ යුතුය. මීට අමතරව ජංගම දුරකථන, පවර් බෑන්ක් සහ අනෙකුත් සන්නිවේදන උපකරණ පූර්ණ ආරෝපණයෙන් තබා ගැනීම හදිසි අවස්ථාවකදී බාහිර ලෝකය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට මහත් උපකාරයක් වේ.

ආපදා විශේෂඥයන් පෙන්වා දෙන්නේ ගංවතුරක් පැමිණෙන අවස්ථාවේ වීර ක්‍රියා කිරීමට වඩා, එයට පෙර නිවැරදිව සූදානම් වීම වටිනාම ආරක්ෂාව බවයි. ගංවතුර ජලය නිවසේ දොරකඩට පැමිණෙන තෙක් බලා සිටීම වෙනුවට, පූර්ව සූදානම සහ නිවැරදි තීරණ ගැනීම මගින් අනතුරු අවම කරගත හැකි අතර, බොහෝ විට ජීවිතයක් සහ මරණයක් අතර වෙනස තීරණය වන්නේ ද එම සූදානම මතය.

ඔබේ ජීවිතය බේරාගත හැකි බෑගය

හදිසි Go-Bag එකක තිබිය යුතු දෑ:

1. ලේඛන සහ මුදල් (Documents & Cash)

  • හැඳුනුම්පත් සහ සහතික: ජාතික හැඳුනුම්පත (NIC), විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතික, බැංකු පොත් සහ ඔප්පු වැනි වැදගත් ලිපි ලේඛනවල ඡායාපිටපත් හෝ Pen Drive එකකට දැමූ Digital පිටපත් (මේවා ජලයෙන් ආරක්ෂා වන සේ පොලිතින් කවරයක බහාලිය යුතුය).
  • අත්පිට මුදල්: ඒටීඑම් (ATM) යන්ත්‍ර ක්‍රියා විරහිත විය හැකි බැවින්, ළඟ තබාගත හැකි පරිදි කුඩා නෝට්ටු සහ කාසි වශයෙන් මුදල්.

2. සෞඛ්‍ය සහ ප්‍රථමාධාර (Medical & Hygiene)

  • නිදන්ගත රෝග සඳහා ඖෂධ: පවුලේ සාමාජිකයින් දිනපතා ගන්නා අත්‍යවශ්‍ය ඖෂධ (අවම වශයෙන් සතියකට සෑහෙන ප්‍රමාණයක්).
  • ප්‍රථමාධාර කට්ටලය (First-Aid Kit): සිද්ධාලේප, පැනඩෝල්, බ්ලැන්ඩේජ්, තුවාල පිරිසිදු කරන දියර සහ කපු පුළුන්.
  • සනීපාරක්ෂක ද්‍රව්‍ය: සබන්, ටිෂූ, සැනිටයිසර් සහ කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන.

3. සන්නිවේදනය සහ ආලෝකය (Communication & Power)

  • ටෝච් එක සහ බැටරි: අමතර බැටරි සහිත ශක්තිමත් විදුලි පන්දමක් (Torch).
  • Power Bank: ජංගම දුරකථන ආරෝපණය කර ගැනීමට සම්පූර්ණයෙන්ම චාර්ජ් කරන ලද පවර් බෑන්ක් එකක් සහ කේබල්.
  • කුඩා රේඩියෝවක්: විදුලිය සහ දුරකථන සංඥා බිඳ වැටුණු විට, රජයේ නිල ආපදා නිවේදන ශ්‍රවණය කිරීමට බැටරි මගින් ක්‍රියා කරන කුඩා රේඩියෝවක්.

4. ආහාර සහ පානීය ජලය (Food & Water)

  • වියළි ආහාර: පිසීමට අවශ්‍ය නොවන, කල් තබාගත හැකි බිස්කට්, ටින් කළ ආහාර (Canned food), පෝෂණ බාර් (Energy bars) සහ සමපෝෂ වැනි දෑ.
  • පානීය ජලය: එක් අයෙකුට දිනකට ලීටර් 3 බැගින් අවම වශයෙන් දින 3කට සෑහෙන ජල බෝතල්.

5. ඇඳුම් සහ අමතර දෑ (Clothing & Tools)

  • ඇඳුම් පැළඳුම්: සීතලෙන් සහ වැස්සෙන් ආරක්ෂා විය හැකි සැහැල්ලු ඇඳුම් කිහිපයක්, වැහි කබායක් (Raincoat) සහ කුඩා තුවායක්.
  • විසිල් එකක් (Whistle): කරදරයකදී ඔබ සිටින ස්ථානය අනෙක් අයට දැනුම් දීමට (ශබ්ද නඟා කෑගැසීමට වඩා විසිල් එකක් පිඹීම පහසුය).
  • බහුවිධ පිහියක් (Multi-tool knife): විවිධ අවශ්‍යතා සඳහා ගන්නා කුඩා පිහියක් හෝ කතුරක්.

වැදගත් මතක් කිරීමක්:

මෙම බෑගය සැහැල්ලු, ජලයට ඔරොත්තු දෙන (Waterproof) එකක් විය යුතු අතර, නිවසේ සිටින සැමටම පහසුවෙන් ගත හැකි, ප්‍රසිද්ධ ස්ථානයක තැබිය යුතුය. සෑම මාස 6කට වරක්ම එහි ඇති ආහාර සහ ඖෂධවල කල් ඉකුත්වීමේ දිනයන් පරීක්ෂා කිරීමට අමතක කරන්න එපා.

නිහාල්ගේ කතාව, “විනාඩි 15කින් ජීවිතය වෙනස් වුණා”

කඩුවෙල ප්‍රදේශයේ පදිංචි නිහාල්ට පසුගිය නොවැම්බරයේ අවසන් දින කිහිපයේ මුහුණ දුන් සිදුවීම මතක් වනවිට තවමත් ඇඟ කිලිපොලා යයි. ඔහු කියන්නේ ඒක “සාමාන්‍ය තද වැසි දවසක්” කියලා තමයි මුලින්ම හිතුවේ කියලා.

“දවස් කිහිපයක් තිස්සේ වැස්ස ටික ටික වැටුණා. අපි හිතුවේ පොඩි ජල ගැලීමක් වෙලා වෙනදා වගේ ටික වෙලාවකින් වතුර බැහැලා යයි කියලා, ඒ නිසා රජයෙන් දීපු අනතුරු ඇඟවීම්වත් ඉවත්වීමේ නිවේදනවත් අඩුම තරමේ හිතමිතුරන් දීපු අවවාදවත් අපි ගනන් ගත්තේ නැහැ. පසුගිය අවුරුදු 50ටම ධාරානිපාතෙන් වැස්සත් මේ ගේ යටවුණේ නැහැ” ඔහු කියනවා. ඒත් කාලය ගෙවෙද්දී තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තා. ගෙදර අවට කාණු පිරෙන්න ගත්තා, ඉදිරිපස පාරේ වතුර මට්ටම වේගයෙන් ඉහළ යන්න ගත්තා.

නිහාල්ට තවමත් විශ්වාස කරන්න අමාරුම දේ තමයි ඒ වතුර වැඩිවීමේ වේගය.

“විනාඩි 15ක් ඇතුළත සාලෙම යට වුණා. මම බලාගෙන ඉද්දිම වතුර ඇතුළට එනවා. අපි ඉක්මනටම බඩු ටිකක් අරගෙන උඩ තට්ටුවට යන්න හැදුවා. ඒත් ඒ වෙලාවේ වතුර කඳ පඩිපෙල දිගේ ආවා.”

ගෙදර ඇතුළේ කලබලයක් ඇති වී තිබුණා. නිහාල්ගේ දරුවන්, බිරිඳ සහ වයෝවෘද්ධ දෙමාපියන්, මේ සියල්ලගෙම ජීවිත රැඳිලා තිබුණේ නිහාල්ගේ අතේ. අත්‍යවශ්‍ය දේවල් අරගන්නවද ජීවිත බේරගන්නවද කියන ප්‍රශ්නයට ඔහු මැදිවුණා. ඒ අතර විදුලියත් අහිමි වුණා. අඳුරත්, වතුරත් එකට මිශ්‍ර වෙලා තත්ත්වය තවත් දරුණු වුණා.

“ෆෝන් එක චාජ් කරලා තිබුණේ නෑ. ඒකත් වැඩක් නැති වුණා. විදුලිය ගියාම අපිට බාහිර ලෝකයත් නැති වුණා වගේ හිතුණා,” ඔහු සිහිපත් කරනවා.

එවැනි අවස්ථාවක ඔවුන්ට එකම සහනයක් වුණේ නාවික හමුදාවයි. ඉක්මනින්ම පැමිණි සහන කණ්ඩායම් ඔවුන්ව ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට සමත් වුණා.

“අපි බේරුණේ ඒ අය ආපු නිසා. එදා ඒ මොහොතේම තේරුණා මේ වගේ අවස්ථාවලදී තත්පරයත් වැදගත් කියලා.”

අදටත් නිහාල් ඒ අත්දැකීම ගැන කතා කරන්නේ සරල පාඩමක් එක්කයි.

“අනතුරු ඇඟවීමක් ආවොත් විශ්වාස කරන්න. ‘මට එහෙම වෙන්නේ නෑ’ කියලා හිතන්න එපා. මොකද ජීවිතේ වෙනස් වෙන්න විනාඩි කිහිපයක්ම ඇති.”

ඔහුගේ පාඩම සරලය.

“අනතුරු ඇඟවීමක් ආවොත් විශ්වාස කරන්න.”

ගංවතුර පැමිණෙන විට

ගංවතුරක් ඇති වන අවස්ථාවකදී බොහෝ විට ජීවිත හානි සිදුවන්නේ ජලයේ ගිලීමෙන් පමණක් නොව, ඒ මොහොතේ ගන්නා වැරදි හෝ ප්‍රමාද වූ තීරණ නිසාය. එබැවින් අනතුරු ඇඟවීමක් ලැබුණු විගසම සන්සුන්ව, නමුත් ඉක්මනින් ක්‍රියා කිරීම ඉතා වැදගත්ය.

ජලය නිවසට ඇතුළු වීමට පෙරම ප්‍රධාන විදුලි ස්විචය ක්‍රියා විරහිත කිරීම අනිවාර්යය. එය නොකළහොත් ජලය සහ විදුලිය එකට එකතු වීමෙන් මාරාන්තික විදුලි කම්පන අවදානමක් ඇති විය හැක. ඒ සමඟම, ගෑස් සම්බන්ධ පද්ධතිද ඉතා අවදානම් බැවින් ගෑස් සිලින්ඩරය වහාම වසා දමා, හැකිනම් ගලවා නිවසින් පිටත ආරක්ෂිත සහ උස් ස්ථානයක තැබිය යුතුය.

ඒ වගේම බලධාරීන් විසින් ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි උපදෙස් ලබා දුන් විට, එය සැහැල්ලුවට නොගෙන වහාම ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ. බොහෝ දෙනා “තව ටිකක් ඉන්නම්” කියා සිතා ප්‍රමාද වීම නිසා අවදානමට පත්වන අවස්ථා ඉතිහාසයේ බොහෝමයක් ඇත. එබැවින් ජීවිත ආරක්ෂාව ප්‍රමුඛ කරගෙන, අවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට යාම වඩාත් සුදුසුය.

ජීවිතය බේරාගන්න රන් නීතිය

“6 Inches – 2 Feet Rule”

6 Inches of Water – වැඩිහිටියෙකු බිම ඇද දැමිය හැක

2 Feet Water – මෝටර් රථයක් පවා ගසාගෙන යා හැක

“6 Inches – 2 Feet Rule” යන්නෙන් අදහස් කරන්නේ ජලයේ ගැඹුර අඩු වුවද එය ඉතාමත් අනතුරුදායක විය හැකි බවයි. අඟල් 6ක් (සෙන්ටිමීටර් 15ක්) පමණ උස ජලයට පවා වැඩිහිටියෙකුගේ සමතුලිතතාවය බිඳ දමා ඔහුව බිම ඇද දමීමට හැකියාව ඇත. මෙය විශේෂයෙන්ම වේගයෙන් ගලා යන ජලයේදී තවදුරටත් භයානක වේ. ජල මට්ටම අඩි 2ක් (සෙන්ටිමීටර් 60ක්) පමණ දක්වා වැඩි වූ විට එහි බලය බොහෝ වර්ධනය වී, සාමාන්‍ය මෝටර් රථයක් පවා පහසුවෙන් ගසාගෙන යා හැකි තත්ත්වයක් උදාවෙයි. එබැවින් අඩු ගැඹුරක් ලෙස පෙනුනද ගංවතුර ජලය කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතුය.

“බොහෝ දෙනෙක් මිය යන්නේ ගංවතුර ජලය හරහා වාහන ධාවනය කිරීමට උත්සාහ කිරීම නිසාය.”

කිසි විටෙකත් නොකළ යුතු දේ

❌ ගංවතුර බලන්න පාලම් උඩ යාම

❌ වතුරේ නෑම

❌ ළමයින්ට සෙල්ලම් කිරීමට ඉඩ දීම

❌ ගලා යන ජලය හරහා වාහන ධාවනය

❌ විදුලි කණු අසල රැඳී සිටීම

ගංවතුර බැස ගිය පසු

බොහෝ දෙනා සිතන්නේ ගංවතුර ජලය පහව ගිය පසු අවදානම අවසන් වී ඇති බවයි. නමුත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ එතැනින්ම සැබෑ අවදානම ආරම්භ වන බවයි. ගංවතුරෙන් පසු ඉතිරි වන ජලය බොහෝවිට අපිරිසිදු වන අතර එයට මඩ, කසළ, මළ ජලය, මී මුත්‍රා සහ විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී තිබිය හැක. මෙවැනි දූෂිත ජලය සමඟ සෘජු සම්බන්ධතාවය ඇති වීමෙන් ඒ මාර්ගයෙන් පැතිරෙන රෝග, සමේ ආසාදන, ඩයරියා, ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) වැනි බරපතළ රෝග ඉතා වේගයෙන් පැතිර යා හැක. විශේෂයෙන්ම විවෘත කැපීම් හෝ තුවාල ඇති පුද්ගලයින්ට මෙය තවදුරටත් අවදානම් වේ. එබැවින් ගංවතුර පහව ගිය පසුද පිරිසිදු නොකළ ජලය, මඩ සහ කසළ සමඟ සෘජු සම්බන්ධතාවය වැළැක්වීම ඉතා වැදගත් වේ.

සුමුදුගේ කතාව, “ගංවතුරෙන් බේරුණත් මල්ලි මී උණෙන් නැති වුණා”

මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ ප්‍රදේශයේ පදිංචි සුමුදුගේ පවුල ගංවතුරෙන් දිවි බේරාගැනීමට සමත් වුවත්, ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම තවදුරටත් අභියෝගයක් විය. ගංවතුර බැස ගිය පසු නිවස ඇතුළත හා වටපිටාව මඩෙන්, කැළිකසළවලින් සහ දුර්ගන්ධයෙන් පිරී තිබුණි. නිවස නැවත පිරිසිදු කරගැනීමට ඇති උනන්දුවෙන්, සපත්තු හෝ ආරක්ෂිත උපකරණ නොමැතිව ඔවුන් පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කළහ.

එහිදී සුමුදුගේ සොහොයුරා දිගු වේලාවක් තෙත් මඩ හා අපිරිසිදු ජලය අතර වැඩ කළ අතර, කුඩා තුවාල කිහිපයක්ද ඔහුගේ පාදවල තිබුණි. එය ඔවුන්ට බරපතළ ලෙස නොපෙනුනද, දින කිහිපයකට පසු ඔහුට උණ, ශරීර වේදනාව, අධික දුර්වලතාවය සහ හිසරදය වැනි ලක්ෂණ ඇතිවිය. මුලදී පවුලේ අය එය සාමාන්‍ය උණක් ලෙස සිතා විවේකය සහ සරල ප්‍රතිකාර ලබා දුන්නද, තත්ත්වය ක්‍රමයෙන් තදබල විය.

පසුව වෛද්‍ය පරීක්ෂණ මගින් එය මී උණ (Leptospirosis) බව හඳුනා ගන්නා ලදී. එවකට රෝගය දැනටමත් ප්‍රමාද වූ අවස්ථාවකට පැමිණ තිබූ අතර, අවශ්‍ය ප්‍රතිකාර කාලය තුළ ලබා නොදීම නිසා තත්ත්වය බරපතළ විය. වෛද්‍යවරුන්ගේ සියලු උත්සාහයන් මැද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය.

පසුව සුමුදුගේ පවුලට ඉතිරි වූයේ දැඩි වේදනාවක් හා කණගාටුවක් පමණි. “අපි හිතුවේ සාමාන්‍ය උණක් කියලා. නමුත් මල්ලී නැති වුණා,” සුමුදු පැවසූයේ දැඩි වේදනාවෙනි.

අද ඔවුන් කියන්නේ එකම දෙයකි, ගංවතුර පහව ගිය පසුද එය අවදානමකින් තොර නොවන බවත්, මඩ සහිත අපිරිසිදු ජලය ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බවත්ය‍.

ගංවතුරෙන් පසු සර්ප අවදානම

ගංවතුරෙන් පසු සර්ප අවදානම ඉතාමත් වැඩි වන අතර බොහෝ දෙනා එය අවතක්සේරු කරති. ජලය ඉහළ යාමත් සමඟ සර්පයන් තම ස්වභාවික වාසස්ථාන අහිමි වී නිවාස, ගොඩනැගිලි, ගස් මතුපිට සහ උස් වියළි ස්ථාන කරා ගමන් කරයි. ගංවතුර පහව ගිය පසු මඩ සහ කැළිකසළ අතර සඟවී සිටින සර්පයන් මිනිසුන්ට හමුවීමේ අවදානම ඉතා වැඩි වේ. විශේෂයෙන් නිවාස පිරිසිදු කිරීම, වත්තේ කටයුතු කිරීම හෝ අඳුරු සහ තෙත් ස්ථාන පරීක්ෂා කිරීමේදී සර්ප දෂ්ටන සිදුවිය හැක. එබැවින් ගංවතුරෙන් පසු පිරිසිදු කිරීම් වලදී ආරක්ෂිත ඇඳුම්, සපත්තු සහ ආලෝකය භාවිතා කිරීමත්, සැකසහිත ස්ථාන පරීක්ෂා කිරීමෙන් වැළකීමත් ජීවිතාරක්ෂාවට වැදගත් වෙයි.

විශේෂයෙන්,

  • ඇඳන් යට
  • රෙදි ගොඩවල් අතර
  • අල්මාරි තුළ
  • ගබඩා කාමරවල

සැඟවී සිටිය හැක.

නිවසට ඇතුළු වීමට පෙර සම්පූර්ණ පරීක්ෂාවක් කළ යුතුය.

හදිසි අවස්ථාවක අමතන්න

හදිසි අවස්ථාවකදී කාලය ඉතාමත් වැදගත් වන අතර නිවැරදි ආකාරයට ඉක්මනින් උදව් ලබාගැනීම ජීවිත බේරාගැනීමට හේතු විය හැක. ගංවතුර, සර්ප දෂ්ටනයක්, හදිසි රෝග තත්ත්වයක් හෝ අනතුරක් වැනි අවස්ථාවකදී වහාම ඔබේ ප්‍රදේශයේ හදිසි සේවා අංකයට හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ඇමතීම වැදගත් වේ. ඇමතීමේදී ස්ථානය, සිදුවූ දේ සහ අවශ්‍ය උදව් පැහැදිලිව හා සරලව දැනුම් දිය යුතුය. අනවශ්‍ය ප්‍රමාදයන් හෝ තනිවම විසඳීමට උත්සාහ කිරීමෙන් තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි බැවින්, වහාම නිල සහාය ලබාගැනීම වැදගත් වෙයි.

ජීවිතය බේරෙන ආකාරය

ගංවතුර, අනතුරු හෝ හදිසි ආපදා අවස්ථාවක ජීවිතය බේරාගැනීම සඳහා ඉක්මන්, සරල සහ නිවැරදි තීරණ ඉතා වැදගත් වේ. පළමුව, අනතුරුදායක ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත්ව උස් සහ ආරක්ෂිත ස්ථානයකට යා යුතුය. ගලා යන ජලය, මඩ සහ කඩා වැටිය හැකි ගොඩනැගිලිවලින් ඈත් වීම ජීවිතාරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වේ. විදුලි රැහැන්, දූෂිත ජලය සහ සර්ප වැනි අනතුරු පිළිබඳ සැලකිලිමත් වීමත් ඉතා වැදගත්ය. හදිසි අවස්ථාවකදී තනිවම අවදානම් තීරණ නොගෙන, වහාම හදිසි සේවා අමතා උපදෙස් ලබාගැනීම ජීවිතය බේරාගැනීමට උපකාරී වේ. සන්සුන්ව සිටීම, අවදානම නිවැරදිව තක්සේරු කිරීම සහ නිසි ආරක්ෂක පියවර අනුගමනය කිරීම මඟින් බොහෝ ජීවිතාරක්ෂක තත්ත්වයන් සාර්ථකව කළමනාකරණය කළ හැක.

අවසාන පණිවිඩය

ගංවතුර යනු වැසි ජලය පමණක් නොවේ. එය තීරණ ගැනීමේ පරීක්ෂණයකි. කවුද කලින් ක්‍රියා කරන්නේ, කවුද අනතුරු ඇඟවීම් විශ්වාස කරන්නේ, කවුද ජීවිතය දේපළවලට වඩා වටිනා බව තේරුම් ගන්නේ යන්න තීරණය කරන මොහොතකි.

සෑම ගංවතුරක්ම අපට එකම පාඩමක් උගන්වයි. ඒ ස්වභාවධර්මය ජයගත නොහැකි නමුත් එයට සූදානම් විය හැකිය යන්නයි.

ගංවතුරක් පැමිණි විට වීරයෙක් වීමට උත්සාහ නොකරන්න. දැනුවත් පුරවැසියෙක් වන්න. එවිට ඔබේ ජීවිතයත්, ඔබේ පවුලේ ජීවිතත් ආරක්ෂා කරගත හැකි වනු ඇත.

“පූර්ව සූදානම යනු ජීවිත රක්ෂණයකි. ගංවතුරකදී එය මුදලින් මිල කළ නොහැකි වටිනාකමකි.”

Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Twitter ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.

Related articles

spot_img
error: Content is protected !!