30.5 C
Galle

කාළගුණය අයහපත්, මුහුදු යන්න එපා

Published:

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහ තද සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට හදිසි නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

මීට අමතරව, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 සිට 2.5 ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු කලාප ද විටින් විට රළු විය හැක.

ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ක තද වැසි

අද (13) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් ඇතිවන බව එම අනාවැකියේ සඳහන් වේ.

වැසි තත්ත්වයත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර 30 ත් 40 ත් දක්වා වන තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගංගාවල ජල මට්ටම් ඉහළට

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් කැළණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඇතැම් ස්ථානවලින් ඉහළ ගොස් ඇති බව ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ. ඒ හේතුවෙන් එම ගංගා ද්‍රෝණි අවට වෙසෙන ජනතාව ද මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

Related articles

spot_img
error: Content is protected !!