29.4 C
Galle

මුහුද රළු වෙයි, සුළඟේ වේගය ඉහළට, ධීවර හා නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

Published:

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ වැසි තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 36 තුළ මෙම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කළ ද, ඒ හරහා ඇතිවිය හැකි රළු මුහුදු ස්වභාවය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. මීට අමතරව, පුත්තලම සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව ද කාලගුණ අංශ අනාවැකි පළ කරයි.

පුත්තලමට මිලිමීටර් 256ක මහ වැස්සක්

අද (14) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 256.2 කි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

ගංගා ජල මට්ටම්වල තාවකාලික අඩුවීමක්

වර්ෂාපතනයේ යම් අඩුවීමක් සමඟ නිල්වලා, ගිං, කළු යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම්වල අඩුවීමක් දක්නට ලැබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි. කෙසේ වෙතත්, කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටම තවමත් ඉහළ අගයක පවතින බවත්, ඉදිරි දිනවලදී නැවත වැසි ඇතිවිය හැකි බැවින් මෙම ජල මට්ටම් අඩුවීම තාවකාලික විය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ජලාශ 36ක් වාන් දමයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රධාන ජලාශ 18ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18ක් වාන් දමමින් පවතී. එසේ වුව ද, මෙම ජලය මුදාහැරීම මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය නොවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහතික කරයි. මේ අතර, දැදුරුඔය ජලාශයේ විවෘත කර තිබූ සියලු වාන් දොරටු අද උදෑසන 7.00ට වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

පවතින කාලගුණ තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා අවම කරගැනීම සඳහා අදාළ අංශ විසින් නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Related articles

error: Content is protected !!