බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට පවතින දත්ත අනුව මෙම අඩු පීඩන කලාපය උත්තර අක්ෂාංශ 10.1 සහ නැගෙනහිර දේශාංශ 82.5 ආසන්නයේ, දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇත. කෙසේ වෙතත්, ඉදිරි පැය 48 තුළ මෙය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාවක් නොමැති බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
මෙම කාලගුණ විපර්යාසය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර බස්නාහිර, සබරගමු, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලටත් තද වැසි අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක.
ධීවර හා නාවික ප්‍රජාවට අවවාද
අඩු පීඩන කලාපයේ බලපෑමෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ මෙන්ම බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බවට අනතුරු අඟවා ඇත. එම මුහුදු ප්‍රදේශවල තද සුළං ඇති විය හැකි බැවින් නිරන්තරයෙන් කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.
අකුණු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීම්
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. විශේෂයෙන් එළිමහනේ රැඳී සිටීමේදී සහ විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස උපදෙස් ලබා දී ඇත.
පසු සටහන
අකුණු සහ විදුලි කෙටීම් සම්බන්දව ඔබ දැනගතයුතු සියල්ල සහ අකුණු විදුලි කෙටීම් වලින් ආරක්ෂා වන ආකාරය සම්බන්දව අප විසින් සම්පාදනය කළ ලිපිය කියවන්න – “හෙන ගහපන්“ කිව්වට හෙන ගහන හැටි දන්නවද?- https://rata.lk/49363/
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වීම සඳහා පෙර සූදානමක් වශයෙන් ගංවතුර පිරික්සුම් ලයිස්තුවක් සකස්කර ගන්න – https://rata.lk/48719/
හදිසි ආපදාවකින් ආරක්ෂා වීම සම්බන්දව අප සකස් කළ කෙටි වීඩියෝව නරඹන්න – https://www.facebook.com/reel/805629669257984
Rata.lk මගින් කාලගුණ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ. කරුණාකර අපගේ නිල වෙබ් අඩවිය, Facebook හා Instagram ඔස්සේ සම්බන්ධව සිටින්න. ඔබගේ ආරක්ෂාව අපගේ වගකීමයි.
“අදම ඉගන ගන්න, හෙට ආරක්ෂා වන්න“


