බංග්ලාදේශයේ සිට මැලේසියාව බලා යාත්‍රා කරමින් තිබූ රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ ජාතිකයන් රැගත් යාත්‍රාවක් අන්දමන් මුහුදේදී අනතුරට පත්වීමෙන් දරුවන් ඇතුළු පුද්ගලයන් 250කගේ පමණ පිරිසක් අතුරුදන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය (UNHCR) සහ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) නිවේදනය කරයි.
අධික සුළඟ, රළු මුහුද සහ සීමාව ඉක්මවා පිරිසක් පටවා තිබීම හේතුවෙන් මෙම ට්‍රෝලර් යාත්‍රාව මුහුදුබත් වී ඇති බව වාර්තා වේ. අප්‍රේල් 4 වනදා බංග්ලාදේශයෙන් පිටත්ව ඇති මෙම යාත්‍රාව අප්‍රේල් 7 හෝ 8 යන දිනවල කුණාටුවකට හසුව අනතුරට පත්ව ඇති බව විශ්වාස කෙරේ.
අප්‍රේල් 11 වනදා අලුයම ඉන්දුනීසියාව බලා යාත්‍රා කරමින් තිබූ ‘මෙඝ්නා ප්‍රයිඩ්’ (Meghna Pride) නම් බංග්ලාදේශ නෞකාවක් මගින් මුහුදේ පාවෙමින් සිටි දිවි බේරාගත් පුද්ගලයන් 9 දෙනෙකු සොයාගෙන ඇත. ඔවුන් ලී කැබලි සහ ප්ලාස්ටික් බැරල් ආධාරයෙන් දින දෙකකට ආසන්න කාලයක් මුහුදේ පාවෙමින් සිට තිබේ.
බේරාගත් පිරිස අතර සිටින 40 හැවිරිදි රෆීකුල් ඉස්ලාම් පවසා සිටියේ තමා පැය 36ක් පමණ මුහුදේ පාවෙමින් සිටි බවත්, යාත්‍රාවෙන් කාන්දු වූ තෙල් නිසා සිරුර පිළිස්සී ඇති බවත්ය. මැලේසියාවේ රැකියා අවස්ථා ලැබෙන බවට වූ පොරොන්දු මත ඔවුන් මෙම අවදානම් සහගත ගමනට එක්ව ඇත. යාත්‍රාවේ 100කට අධික පිරිසක් සිටි බව දිවි බේරාගත්තවුන් පවසන නමුත්, එක්සත් ජාතීන්ගේ දත්ත අනුව අතුරුදන් පිරිස 250ක් පමණ වේ.
මියන්මාරයේ පවතින ප්‍රචණ්ඩත්වය සහ බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල පවතින දුෂ්කර ජීවන තත්ත්වයන් හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් මෙලෙස අනාරක්ෂිත යාත්‍රා මගින් මැලේසියාව වැනි ඉස්ලාමීය රටවල් කරා යාමට උත්සාහ කරයි. 2017 වසරේ මියන්මාරයේ හමුදා මර්දනයෙන් පසු ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා වැසියන් බංග්ලාදේශයට පලා ආ අතර, මේ වන විට ඔවුන්ට මානුෂීය ආධාර ලැබීම ද අඩුවෙමින් පවතී.
මෙම ඛේදවාචකය පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටියේ, රෝහින්ග්‍යා වැසියන්ගේ අවතැන්වීමට ස්ථිර විසඳුමක් නොමැති වීම මෙවැනි මාරාන්තික මුහුදු ගමන් වැඩිවීමට හේතුවී ඇති බවයි. බංග්ලාදේශයේ අලුත් අවුරුද්ද සමරන මොහොතක සිදුවූ මෙම අනතුර, මියන්මාරයේ පවතින මූලික ගැටලුවලට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාව ලෝකයාට සිහිපත් කරන බවද එම සංවිධානය අවධාරණය කළේය.


