28.1 C
Galle

ලෝක තෙල් මිල සීඝ්‍රයෙන් පහළට

Published:

ලෝක දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්වූ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නැව් ගමනාගමනය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ, ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මට්ටම දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

ඒ අනුව, ගෝලීය බොරතෙල් මිල දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.48 දක්වා තාවකාලිකව පහත වැටුණු අතර, එය පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පෙරදින පැවති මිල මට්ටමයි. මේ වන විට එය ඩොලර් 72.63ක මට්ටමක පවතින බව වාර්තා වේ.

පෙබරවාරි මාසයේදී එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් ලෝක තෙල් හා ගෑස් ප්‍රවාහනයේ තීරණාත්මක ජල මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගැනීමත් සමඟ ගෝලීය බලශක්ති මිල ගණන් දැඩි ලෙස ඉහළ ගියේය. කෙසේ වෙතත්, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ යුද්ධය අවසන් කිරීමේ වෙනත් පියවරයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දින 60ක කාලසීමාවක් වෙන් කරමින් ඇමරිකාව සහ ඉරානය පසුගිය ජූනි 17 වැනිදා අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීමත් සමඟ තෙල් මිල වේගයෙන් පහත වැටීමට පටන් ගත්තේය.

ඉන් අනතුරුව පසුගිය සති අන්තයේ ස්විට්සර්ලන්තයේදී දෙපාර්ශ්වයේ නියෝජිතයින් හමුවී පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉරාන තෙල් අපනයනයට පනවා තිබූ සම්බාධක අර්ධ වශයෙන් ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබේ.

මුහුදු මාර්ග පිළිබඳ බුද්ධි තොරතුරු සපයන ‘ප්ලර්’ (Kpler) ආයතනයට අනුව, මෙම අවබෝධතා ගිවිසුමෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. බොරතෙල්, ද්‍රවීකෘත ස්වාභාවික ගෑස් (LNG) සහ පොහොර රැගත් නෞකා රැසක් මේ වන විට එම ජල මාර්ගය භාවිත කරමින් සිටින බව එම ආයතනය පවසයි.

වෙළඳ නැව්වල ආරක්ෂිත ගමනාගමනය තහවුරු කිරීම සහ අනවබෝධයන් වළක්වා ගැනීම වෙනුවෙන් දෙරට අතර සන්නිවේදන මාර්ගයක් ස්ථාපිත කර ඇති බව මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන කටාර් සහ පකිස්ථාන රාජ්‍යයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

නාවික අවදානම් උපදේශන ආයතනයක් වන ‘මාරිස්ක්ස්’ (Marisks) ආයතනයේ ප්‍රධානී දිමිත්‍රිස් මනියාටිස් (Dimitris Maniatis) පවසන්නේ ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡාවලින් පසුව පසුගිය සඳුදා සිට මේ දක්වා නෞකා 80ක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවයි.

ඉරාන බලධාරීන්ගේ අවසරය මත උතුරු දෙසින් පිහිටි මුහුදු මාර්ගයක් භාවිත කිරීමට නැව් කිහිපයකට අවස්ථාව ලැබී ඇති අතර, බෝම්බ සහ වෙනත් බාධකවලින් තොර දකුණු දෙසින් පිහිටි ආරක්ෂිත මුහුදු මාර්ගයක් භාවිත කරන ලෙස ඇමරිකානු නාවික හමුදාව ද උපදෙස් දී ඇත.

කෙසේ වෙතත්, යුද්ධයට පෙර දිනකට නැව් 100කට වඩා ගමන් කළ මෙම කලාපයේ වත්මන් නෞකා ගමනාගමනය තවමත් පෙර පැවති මට්ටමට වඩා අඩු අගයක පවතින අතර තවත් නැව් සිය ගණනක් පර්සියානු ගල්ෆ් කලාපයේ රැඳී සිටින බව වාර්තා වේ.

ලෝක වෙළඳපොළේ තෙල් මිල මෙලෙස ශීඝ්‍රයෙන් පහත වැටුණ ද, සිල්ලර වෙළඳපොළේ ඉන්ධන මිල (Pump Prices) ඊට සාපේක්ෂව පහළ නොයෑම පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා දින ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෂෙල් (Shell) සහ එක්සන් මොබිල් (ExxonMobil) ඇතුළු ප්‍රධාන බලශක්ති සමාගම්වලට චෝදනා කළේ, ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස පහත වැටී තිබියදීත් පාරිභෝගිකයින්ගෙන් අධික ලෙස මුදල් අය කරමින් ඔවුන් සූරාකෑමට ලක් කරන බවයි. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඔහු නියෝග කර ඇත.

කෙසේ වෙතත්, ඇමරිකානු ඛනිජ තෙල් ආයතනය (API) පවසන්නේ පාරිභෝගික මිල ගණන් සැමවිටම බොරතෙල් මිල සමඟ සෘජුව සමගාමීව වෙනස් නොවන බවයි. බ්‍රිතාන්‍යයේ බලශක්ති සමාගම්වලට ද මෙවැනිම චෝදනා එල්ල වී ඇති නමුත්, එහි අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමක් සිදුව නොමැති බව එරට තරඟකාරිත්ව නියාමන ආයතනය පසුගිය මාසයේදී ප්‍රකාශ කර තිබුණි.

Related articles

spot_img
error: Content is protected !!