31.1 C
Galle

ගුවන් මගියෙකුගේ පවර් බෑන්ක් එකක් ගිනි ගැනීමෙන් හදිසි ඉවත් කිරීමක්

Published:

ඉන්දියාවේ හයිද්‍රාබාද් සිට චන්දිගාර් බලා පියාසර කළ ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවයට අයත් 6E 108 යානය ඊයේ (05) පස්වරුවේ චන්දිගාර් ගුවන්තොටුපළට ගොඩබැස්සවූ වහාම එහි හදිසි ඉවත් කිරීමක් සිදු කිරීමට බලධාරීහු පියවර ගත්හ. යානය ධාවන පථයේ නවතා මගීන් බැසීමට සූදානම් වෙමින් සිටියදී, මගියෙකු සතු පවර් බෑන්ක් (Power Bank) එකක් ගිනි ගැනීම මීට හේතුවී තිබේ.

ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය (DGCA) සඳහන් කළේ යානයේ 39C අසුනේ සිටි මගියෙකු විසින් අසුන ඉදිරිපිට වූ බෑගයට දමා තිබූ පවර් බෑන්ක් එකක් මෙලෙස ගිනිගෙන ඇති බවයි. ගින්නත් සමඟ යානය තුළ දුමාරය පැතිරී ඇති අතර, ගුවන් කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ගිනි නිවන උපකරණ දෙකක් භාවිතා කරමින් ගින්න පාලනය කර ඇත.

පසුව යානයේ හදිසි දොරටු සියල්ල (Slides) විවෘත කර මගීන් ආරක්ෂිතව පිටතට ගැනීමට පියවර ගෙන තිබේ. ඇතැම් මගීන් තුවාල ලබා රෝහල්ගත කළ බවට වාර්තා පළ වුවද, කිසිදු මගියෙකුට බරපතල තුවාල සිදුව නොමැති බව ගුවන් සේවය තහවුරු කරයි.

මෙම සිදුවීමත් සමඟ ගුවන් ගමන් වලදී පවර් බෑන්ක් භාවිතය පිළිබඳව අවධානය යොමු වී ඇත.

ලිතියම් බැටරි අඩංගු මෙවැනි උපාංග පිපිරීමේ සහ ගිනි ගැනීමේ අවදානමක් පවතින බැවින් 2026 වසරේදී DGCA ආයතනය විසින් නව නීති මාලාවක් හඳුන්වා දී තිබිණ. ඒ අනුව,

යානය තුළදී පවර් බෑන්ක් භාවිතයෙන් දුරකථන ආරෝපණය කිරීම (Charging) තහනම් වේ.

පවර් බෑන්ක් හෝ අමතර බැටරි ගුවන් යානයේ හිසට ඉහළින් ඇති බෑග් රඳවනයන්හි (Overhead compartments) තැබිය නොහැක.

ඒවා රැගෙන යා හැක්කේ අත් බෑග්වල (Carry-on luggage) පමණක් වන අතර කිසිසේත්ම භාණ්ඩ පටවන ගබඩාවට (Checked-in luggage) යොමු නොකළ යුතුය.

සිද්ධියට මුහුණ දුන් යානය පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් මෙහෙයුම්වලින් ඉවත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්ඩිගෝ ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

error: Content is protected !!