30.5 C
Galle

ශ්‍රී ලන්කන් ගුවන් යානයකට අකුණක් වදියි

Published:

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා අද (12) අලුයම පියාසර කරමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක එන්ජිමකට අකුණු සැර වැදීමක් හේතුවෙන්, එම යානය හදිසියේම යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත නිරුපද්‍රිතව ගොඩබස්වා තිබේ.

මෙසේ හදිසි ගොඩබෑමකට ලක් කර ඇත්තේ යූ.එල්. 606 (UL-606) දරණ ගුවන් යානයයි. පියාසර කිරීම ආරම්භ කර සුළු වේලාවකින් මෙම අනතුරට මුහුණ දී ඇති අතර, ආරක්ෂිත පියවරක් වශයෙන් යානය වහාම ආපසු හරවා කටුනායක වෙත ගොඩබෑමට පියවර ගත් බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ යානය ගොඩබස්වන අවස්ථාව වන විට එහි කාර්ය මණ්ඩලය ඇතුළුව මගීන් 207 දෙනෙකු සිටි බවයි. සිදු වූ අනතුරෙන් යානයේ සිටි කිසිදු මගියෙකුට හෝ ගුවන් යානයට හානියක් සිදුව නොමැති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු තහවුරු කළේය.

කෙසේ වෙතත්, අදාළ ගුවන් යානය මේ වන විට විශේෂ පරීක්ෂාවකට ලක් කරමින් පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වූ අතර, පසුව ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් වෙනත් ගුවන් යානයක් සූදානම් කර අදාළ මගීන් පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!