31.6 C
Galle

ඩිජිටල් ඇබ්බැහිය නිසා පාසැල් සහ විශ්වවිද්‍යාල දරුවන් අනතුරේ

Published:

ජංගම දුරකථනය සහ සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙන් වත්මන් තරුණ පරපුර බුද්ධි හීන මට්ටමට පත්ව ඇති අතර, එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස පාසැල් සහ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් විශාල පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බවට වාර්තා වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල කීර්ති පැස්කුවල් මහතා අනාවරණය කළේය.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කළ “මාධ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා කෘත්‍රීම බුද්ධියේ බලපෑම” යන තේමාව යටතේ පැවති, ගාල්ල දිස්ත්‍රික්කයේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවේ සම්පත් දායකත්වය දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යවරයා පවසා සිටියේ “A” සාමාර්ථ තුනක් ගෙන විශ්වවිද්‍යාලයට පැමිණෙන දරුවන්ට පවා ප්‍රශ්න දරා ගැනීමේ හැකියාවක් නොමැති බවයි.

“දරුවන් පාසැල් යවන්නේ නෑ, දෙමාපියන් පන්ති යන්න දරුවන්ට ෆෝන් අරන් දෙනවා. ඒවායේ උගන්වන්නේ අමුතුම කණ්ඩායමක්. ඒ දරුවන් ‘A’ සාමාර්ථ ගත්තට මානව සංවර්ධනය අතින් ඉතා පහළයි. නායකත්වය, දරාගැනීමේ හැකියාව වගේ ගුණාංග ඒ අයට නෑ. වටපිටාවේ වෙන්නේ මොනවද දන්නේ නෑ, සමාජ සම්බන්දතා අවමයි. මේ තත්ත්වය නිසා විශ්වවිද්‍යාල දරුවන්ගෙන් බහුතරයකට මානසික පීඩනය (Depression) තියෙනවා. ඔවුන් මැරෙන්න අහනවා, මත්ද්‍රව්‍ය ගන්නවා. අලුතින් උපදින දරුවන්ගේ පවා ඇස්වල චලනයන් සහ ඇඟිලිවල පිහිටීම වෙනස් වන තරමට මේ තාක්ෂණික ඇබ්බැහිය බරපතළ වෙලා කියලා දැන් නවතම සොයාගැනීම් වලින් අනාවරණය කරගෙන තියෙනවා”.

මේ හැමදේම පිටුපස බූවල්ලෙක් වගේ මාධ්‍ය ඉන්නවා. සමාජ මාධ්‍ය හරහා විව්ස්, ලයික් වැඩිකරගෙන ඕනෑම මතයක් සමාජගත කරලා මිනිසුන්ගේ මතවාද වෙනස් කරන්න දැන් හැකියාව තියෙනවා. ඒකයි අපි කියන්නේ අඩු ගානේ හය වසරෙන් පහල දරුවන්ට අනිවාර්යයෙන් මාධ්‍ය සාක්ෂරතාව ඉගැන්විය යුතුයි කියලා.” යැයි ඔහු පවසා සිටියේය.

තාක්ෂණය නරක නැත, නමුත් එය භාවිතා කළ යුත්තේ බුද්ධියෙන් සහ වගකීමෙන් යුතුවය යන්න මෙහිදී ඔහු ලබාදුන් මූලික පණිවිඩය විය.

වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය (AI) භාවිතය හරහා පුවත් නිර්මාණය සහ දත්ත විශ්ලේෂණය වේගවත් වුවද, එමඟින් නිර්මාණය වන තොරතුරුවල විශ්වාසදායකභාවය සහ සදාචාරාත්මකභාවය පිළිබඳ බරපතළ අභියෝග මතුවෙමින් පවතින බව මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම පුද්ගල ප්‍රතිරූප හානි කරන ‘Deepfakes’ වැනි ව්‍යාජ නිර්මාණ සහ සමාජ මාධ්‍ය ඇල්ගොරිතම හරහා පුද්ගලයාට අවශ්‍ය දේ පමණක් පෙන්වන ‘පුද්ගලීකරණය කළ පුවත්’ රටාව නිසා ජනතාව පටු මතවාදයන්ට කොටු වීමේ අවදානමක් පවතින බව ආචාර්යවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණය සීඝ්‍රයෙන් ඉදිරියට යන යුගයක මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත කර ගැනීමට නම්, මාධ්‍යවේදීන් මෙන්ම ගුරුවරුන් ද මෙම නව ප්‍රවණතා සමඟ යාවත්කාලීන වීම අත්‍යවශ්‍ය වේ. තාක්ෂණය යනු හුදෙක් මෙවලමක් පමණක් බවත්, එය මානව සබඳතා හෝ ආකල්පමය සංවර්ධනය වෙනුවට ආදේශ කළ නොහැකි බවත් අවධාරණය කළ හෙතෙම, තාක්ෂණික මෙවලම් බුද්ධිමත්ව සහ වගකීමෙන් යුතුව පරිහරණය කිරීමට අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතාව දරුවන්ට ලබා දීම කාලෝචිත අවශ්‍යතාවක් බව ද සඳහන් කළේය.

වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ. යූ. චන්ද්‍රලාල් මහතා අදහස් දක්වමින් කියා සිටියේ, රටේ අනාගතය තීරණය වන ඡන්දය මිලකළ නොහැකි දෙයක් බවත්, නිවැරදි පාලකයන් පත් කිරීමට නම් දරුවන්ට නිවැරදි මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතු බවත්ය.

“එක ඡන්දයකින් රට විනාශ කරන්නත් රට හදන්නත් පුළුවන්. අද හරි තොරතුරු අපිට ලැබෙන්නේ නැති නිසා මාධ්‍ය අධ්‍යාපනය ඉතාම වැදගත් වෙලා තියෙනවා. තාක්ෂණය අභියෝගාත්මකව ඉදිරියට යන යුගයක මේ දැනුම ලබා ගැනීම අතිශය වැදගත්,” යැයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය ගුරුවරුන් සහ දරුවන් පුහුණු කිරීමට වැඩසටහන් රැසක්

ගාල්ල දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී සහන් හේවා ගමගේ මහතා මෙහිදී සඳහන් කළේ, මාධ්‍ය ගුරුවරුන් සහ දරුවන් පුහුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව ගාල්ල කලාපයේ මාධ්‍ය අධ්‍යාපනය ලබන දරුවන්ට කොළඹ ප්‍රධාන මාධ්‍ය ආයතනවල ප්‍රායෝගික අත්දැකීම් සහිත පුහුණුවක් ලබා දීමට නියමිත අතර පාසල් මාධ්‍ය සමාජ සවිබල ගැන්වීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය..

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම වැඩමුළුව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් ටී. බී. නලින්ද උදය කුමාර, වලස්මුල්ල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. වී. මනෝජ් රංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. වැඩමුළුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කෙරිණ.

Related articles

error: Content is protected !!