පසුගිය 2022 වසරේ රට තුළ පැවැති ආර්ථික අර්බුදය සමයේ ගාල්ල කොටු පවුර අසල නීතිඥවරුන් පිරිසක් පැවැත්වූ සාමකාමී විරෝධතාවට පොලිසිය සහ යුද හමුදාව කඩා වැදී බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කාර නීතිඥවරුන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේය.
තමන් සිදුකළ ක්‍රියාව තුළින් පොදු මහජනතාවගේ සහ නීතිඥවරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පිළිගනිමින්, වගඋත්තරකාර පොලිස් නිලධාරීන් මෙලෙස සමාව ඉල්ලා සිටි අතර, එම සමාව ලිඛිතව ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම (SC/FR/229/2022) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම සමාව ගැනීම සිදු විය.
ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරුන් දෙදෙනෙකු වන ජී.එච්. අජිත් කුමාර සහ අමරදිවාකර ලියනගේ යන මහත්වරුන් විසින් නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
පෙත්සම්කරුවන් කියා සිටියේ 2022 වසරේ ජූනි 30 සහ ජූලි 6 යන දිනවල නීතිඥවරුන්, තරුණ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් එක්ව ගාලු කොටු පවුර මත විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමී විරෝධතාවක නිරත වූ බවයි. එහිදී එම ස්ථානයට කඩා වැදුණු පොලිස් සහ හමුදා නිලධාරීන් විරෝධතාකරුවන්ට තර්ජනය කරමින්, ඔවුන් සතු වූ විරෝධතා පුවරු උදුරාගෙන ඉරා දමා භාෂණයේ සහ සාමකාමීව රැස්වීමේ මූලික අයිතිවාසිකම් නීති විරෝධී ලෙස උල්ලංඝනය කළ බව පෙත්සමේ සඳහන් විය.
මෙම සිද්ධියේ 3, 4 සහ 5 වන වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි:
එවකට ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජී. නුවන් වෙදසිංහ,
එවකට ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා,
එවකට ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සේනාපති සිල්වා
යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ සිය සේවාදායකයින් මෙම නීති විරෝධී මැදිහත්වීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම සමාව භාර ගැනීමට එකඟත්වය පළ කළ අතර, ඒ අනුව නඩු විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.
මෙම සමථය සටහන් කර ගැනීමෙන් අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඇමතූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙසේ පැවසීය,
“එදා සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් තමයි මේ පෙත්සම්කාර නීතිඥවරු පැමිණිලි කළේ. ඔවුන් අද ගාල්ලේ ඉඳලා මේ නඩුවට ඇවිල්ලා තියෙනවා. මේ නඩුව සමථයට පත් කිරීමට ඔවුන් ඉදිරිපත් වීම ගැන අගය කරන්න. මේ වගේ සහනයක් ලේසියෙන් ලැබෙන්නේ නෑ.”
මේ අතර, සිද්ධියේ පළමු වගඋත්තරකරු ලෙස නම් කර සිටින ගාල්ල කොටුව යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අසේල විජේරත්න මහතා මේ වන විට විදේශගතව සිටින බැවින්, ඔහුට එළඹෙන ජූලි මස 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
පෙත්සම්කාර නීතිඥවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමඟ නීතිඥවරුන් වන මංජුල බාලසූරිය, තනුක නන්දසිරි, පවිත්‍ර මනුජය සිල්වා සහ සරින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු ගාල්ල නීතිඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් පෙනී සිටියහ.



