27.1 C
Galle

එවරස්ට් කන්දෙන් නව ලෝක වාර්තාවක්: එකම දිනයකදී කඳු නඟින්නන් 274ක් මුදුනටම යයි!

Published:

ලොව උසම කඳු මුදුන වන එවරස්ට් කන්ද තරණය කිරීමේ වසන්ත කඳු නැගීමේ වාරයේදී (Spring Season) එකම දිනයකදී වැඩිම පිරිසක් කඳු මුදුනට ළඟාවී නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇතැයි නේපාල සංචාරක දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පසුගිය බදාදා දිනය තුළ පමණක් නේපාලය හරහා පුද්ගලයන් 274 දෙනෙකු සාර්ථකව එවරස්ට් කඳු මුදුනටම ළඟා වී ඇත.

මෙවර වසන්ත සමයේ මුල් භාගයේදී කඳු නැගීමේ මාර්ගය අවහිර කරමින් දැවැන්ත අයිස් කුට්ටියක් පැවතීම නිසා කඳු නැගීමේ කටයුතු ප්‍රමාද වී ආරම්භ කෙරුණි. කෙසේ වෙතත්, බදාදා දිනයේදී මතු වූ ඉතා යහපත් කාලගුණික තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් කඳු නඟින්නන් එදින දේශීය වේලාවෙන් අලුයම 3.00 සිට පැය 11ක කාලයක් අඛණ්ඩව කඳු මුදුන වෙත ඇදී ගොස් තිබේ. මෙයට පෙර එකම දිනයකදී වැඩිම පිරිසක් එවරස්ට් ජයගෙන තිබුණේ 2019 මැයි 22 වැනිදාය. එදින නේපාල දෙසින් පුද්ගලයන් 223 දෙනෙකු කඳු මුදුනට ළඟා වී තිබුණි.

අධික තදබදය සහ පිරිවැය ඉහළ යාම

එවරස්ට් කඳු තරණය සඳහා බලපත්‍ර ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 11,000 සිට ඩොලර් 15,000 දක්වා ඉහළ දමා තිබුණ ද, මෙවර කඳු නැගීමට පැමිණි පිරිසෙහි අඩුවක් දක්නට ලැබී නැත. මෙවර විදේශීය කඳු නඟින්නන් 500කට ආසන්න පිරිසකට අවසර පත් නිකුත් කර ඇති අතර එය ද වාර්තාවකි.

කෙසේ වෙතත්, මුහුදු මට්ටමේ සිට මීටර 8,000කට වඩා ඉහළින් පිහිටි, මිනිස් ජීවිතයට අතිශය අනතුරුදායක “මරණ කලාපය” (Death Zone) හරහා කඳු නඟින්නන් දිගු පෝලිමක ගමන් ගන්නා ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ, කන්ද මත පවතින අධික තදබදය සහ ආරක්ෂිත අවදානම පිළිබඳව විශේෂඥයින් අනතුරු අඟවා ඇත. නමුත් ගවේෂණ සංවිධායකයින් පවසන්නේ ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් සිලින්ඩර සතු වුවහොත් මෙම තදබදය කළමනාකරණය කරගත හැකි බවයි.

වාර්තා පිට වාර්තා තැබූ විරුවන්

මෙවර කඳු නැගීමේ වාරයේදී සුවිශේෂී වාර්තා කිහිපයක්ම අලුත් වී තිබේ:

සුප්‍රසිද්ධ නේපාල කඳු මාර්ගෝපදේශකයෙකු වන 56 හැවිරිදි කමී රීටා ෂර්පා, 32 වැනි වතාවටත් එවරස්ට් කඳු මුදුනට ළඟා වෙමින් ලොව වැඩිම වාර ගණනක් එවරස්ට් ජයගත් පුද්ගලයා ලෙස තමන් සතු ලෝක වාර්තාව නැවත වරක් අලුත් කළේය.

“කඳුකර රැජින” (Mountain Queen) ලෙස හැඳින්වෙන 52 හැවිරිදි ලක්පා ෂර්පා, 11 වැනි වතාවටත් කන්ද තරණය කරමින් ලොව වැඩිම වාර ගණනක් එවරස්ට් ජයගත් කාන්තාව ලෙස තැබූ වාර්තාව තවදුරටත් තහවුරු කරගත්තාය.

කෘත්‍රිම පාද පවා භාවිත නොකර, දෑත්වල ශක්තිය පමණක් උපයෝගී කරගනිමින් එවරස්ට් මුදුනටම ළඟා වීමට සමත් වූ රුස්තාම් නබීව් දෙපා අහිමි රුසියානු ජාතික තරුණයෙකි. ඔහුගේ වයස අවුරුදු 34කි.

වාර්තා අතරින් ඇසුණු මරණයේ ශෝකාකූල හඬ

කෙසේ වෙතත්, මෙම වාර්තාගත කඳු නැගීමේ වාරය ශෝකාකූල මරණ කිහිපයකින් ද කළු පැල්ලම් එකතු කර ඇත.

නේපාලයේ සමාජීය වශයෙන් අඩු වරප්‍රසාදිත හින්දු “දලිත්” (Dalit) ප්‍රජාවෙන් එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථමයා බවට පත්වෙමින් ඉතිහාසයට එක් වූ 35 හැවිරිදි බිජේ ගිමරේ (Bijay Ghimere), කඳු මුදුනේදී ඇති වූ අධික උන්නතාංශ අසනීප තත්ත්වය (Altitude Sickness) හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මීට අමතරව, තෙවැනි කඳවුර (Camp 3) අසලදී අයිස් මත ලිස්සා ගොස් ගැඹුරු හිම කපොල්ලකට (Crevasse) වැටීමෙන් 21 හැවිරිදි පූරා ග්යල්ජෙන් ෂර්පා නමැති තරුණ මාර්ගෝපදේශකයා ද, මූලික කඳවුර වෙත පැමිණෙන අතරතුරදී 51 හැවිරිදි ලක්පා දෙන්දි ෂර්පා නමැති තවත් පළපුරුදු මාර්ගෝපදේශකයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සංචාරක අංශ තහවුරු කරයි.

Related articles

spot_img
error: Content is protected !!