ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සාධාරණත්වය, සමාජ සහජීවනය සහ තරුණ සංවර්ධනය ඇති කිරීම අරමුණු කරගත් සුවිශේෂී තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ‘ග්ලෝබල් යුනයිට්ස්’ (Global Unites) සංවිධානය විසින් ආරම්භ කර තිබේ. රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ජාතික වැඩපිළිවෙල පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.
විවිධ ජාතීන්ට, ආගම්වලට සහ දේශපාලන පක්ෂවලට අයත් වයස අවුරුදු 45ට අඩු තරුණ තරුණයින් එක් කරගනිමින් රටේ අනාගතය වෙනුවෙන් නව ජාතික සැලැස්මක් සකස් කිරීම මෙහි මූලික පියවරයි. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ රට තුළ සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා තරුණ පරපුරේ හඬට ප්‍රතිපත්තිමය මට්ටමින් ප්‍රමුඛතාවය ලබාදීම බව ග්ලෝබල් යුනයිට්ස් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති ප්‍රශාන් ඩී. වීසර් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
වීසර් මහතා වැඩිදුරටත් පැහැදිලි කළ පරිදි, මෙම ප්‍රතිපත්ති යෝජනාවලිය ප්‍රධාන ජාතික ප්‍රමුඛතා සහ ක්ෂේත්‍ර තුනක් මුල් කර ගනිමින් සකස් කිරීමට නියමිතය. එහි පළමුවැන්න වනුයේ තරුණ සංවර්ධනය සහ ප්‍රගතිය වන අතර, ඒ හරහා තරුණ පරපුර මුහුණ දෙන මූලික ගැටලුවලට දිගුකාලීන විසඳුම් සෙවීම මෙන්ම ඔවුන් වෙනුවෙන් අධ්‍යාපන, රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා පුළුල් කිරීමට බලාපොරොත්තු වේ.
එහි දෙවැනි අරමුණ ලෙස ජාතික සමගිය, යුක්තිය සහ සමාජ සහජීවනය පිළිබඳව අවධානය යොමු කෙරෙන අතර, පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම, විවිධ ජාතීන් හා ආගම් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම ඒ යටතේ සිදු කෙරේ.
එමෙන්ම මෙහි තුන්වන කොටස ලෙස පසුගිය දශක කිහිපය තුළ තරුණ ප්‍රජාවට මුහුණ දීමට සිදුවූ ව්‍යුහාත්මක අසමානතාවලට තිරසාර විසඳුම් සෙවීම සිදු කෙරෙන අතර, අතීතයේ සහ වර්තමානයේ පවතින වෙනස්කොට සැලකීම්, කොන් කිරීම් මෙන්ම අසමානතාවලට සාර්ථකව මුහුණ දීම සඳහා වන පරිවර්තනීය වැඩපිළිවෙලක් හඳුන්වාදීම ද මේ හරහා අපේක්ෂා කෙරේ.
දිස්ත්‍රික්ක 25ම ආවරණය වන ජාතික සමීක්ෂණයක්
මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ක්‍රියාත්මක කරන ප්‍රායෝගික ක්‍රමවේදය පිළිබඳව අදහස් දක්වමින් ග්ලෝබල් යුනයිට්ස් සවුත් ඒසීයා (Global Unites South Asia) වැඩසටහනේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික චමින්ද ජයසේකර මහතා පවසා සිටියේ, ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක, එනම් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තරුණ ප්‍රජාවගේ අවශ්‍යතා, ගැටලු සහ බලාපොරොත්තු වන විසඳුම් එකතු කරගැනීම සඳහා “ජාතික තරුණ සමීක්ෂණයක්” (National Youth Survey) සහ ප්‍රාදේශීය මට්ටමේ සාකච්ඡා මාලාවක් පවත්වන බවයි.
එමෙන්ම තරුණයින්ට විවෘතව අදහස් දැක්විය හැකි කථික වේදිකාවක් ද මේ හරහා නිර්මාණය වේ. වත්මන් තරුණ පරපුර පාසල් අධ්‍යාපනය නිම වූ වහාම ඉහළ වැටුප් අපේක්ෂාවෙන් දකුණු කොරියාව, ඊශ්‍රායලය, ජපානය වැනි රටවලට සංක්‍රමණය වීමට උත්සාහ කරන බව පෙන්වා දුන් ජයසේකර මහතා, තරුණ පිරිස් රට තුළම රඳවා ගනිමින් ඔවුන්ට ඉහළ ආර්ථික මට්ටමක් ළඟා කරගත හැකි පරිදි රටේ අනාගත ප්‍රතිපත්ති සංවර්ධනය විය යුතු බව ද අවධාරණය කළේය.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීමක්
මෙම සමස්ත ක්‍රියාවලිය අවසානයේ තරුණ අදහස් උපයෝගී කරගෙන සකස් කරනු ලබන අවසන් යෝජනාවලිය එළැඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රධාන රජයටත්, විපක්ෂ නායකවරයා ඇතුළු සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් වෙතත් නිල වශයෙන් පිළිගැන්වීමට නියමිත බව සමාජ ක්‍රියාකාරී ඉඳුනිල් මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඇතුළු ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම විදේශීය තානාපති කාර්යාල වෙත ද ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
මෙය ශ්‍රී ලාංකීය තරුණ පරපුරට තමන් මුහුණ දෙන සැබෑ ගැටලු ඉදිරිපත් කිරීමටත්, ප්‍රතිපත්ති සම්පාදකයින් වගවීමට ලක් කරමින් එක්සත් ලාංකීය අනන්‍යතාවයක් සහිත දේශයක් බිහිකිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවකි. එබැවින් මෙම වැඩසටහන වටා රොද බඳින ලෙස ග්ලෝබල් යුනයිට්ස් සංවිධානය දිවයිනේ සියලුම තරුණ තරුණියන්ට විවෘතව ආරාධනා කර සිටියි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ සම්බන්ධීකරණ කටයුතු www.globalunites.org නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.



